April 25, 2024

මියන්මාරයේ ඇත්තටම මොකද වුණේ? හමුදාව ආයෙත් බලය ඇල්ලුවේ කොහොමද? පිළිතුරු මෙන්න

February 01, 2021

ලෝකයේ ම ප්‍රවෘත්ති සිරස්තල උණුසුම් කළ මියන්මාරයේ රාජ්‍ය බලය නැවත වරක් හමුදාව ලබා ගැනීම පිළිබඳව විවිධ මතයන් පළ වෙමින් තිබේ.

මෙම අවධානය යොමු කරන්නේ මියන්මාරයේ හමුදාව නැවත වරක් එරට ආක්‍රමණය කිරීම කළ ආකාරය පිළිබඳවයි.

මෙහිදී ප්‍රධාන කාරණා 02ක් හේතුවෙන් මෙම බල අරගලය සිදුව තිබේ.

මියන්මාර හමුදාවට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන බලය

මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 417 වැනි වගන්තිය අනුව යමින් මියන්මාර හමුදාව මේ වන විට එරට බලය අත්පත් කරගෙන තිබේ. එරට හමුදාවට අයත් රූපවාහිනී නාලිකාවක් වන මයාවඩි රූපවාහිනී නාලිකාව හරහා පණිවිඩයක් නිකුත් කරමින් මියන්මාර හමුදාව මේ පිළිබඳන එරට ජනතාවට දැනුම් දී තිබේ.

මෙම වගන්තිය යටතේ එරට හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක හමුදාවට එරට රාජ්‍ය පාලනයට මැදිහත් වීමට හැකියාව ලබා දී ඇති බව සඳහන් වෙයි. මෙලෙස හදිසි තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුව ලෙස රූපවාහිනී ප්‍රකාශය හරහා මියන්මාර හමුදාව ප්‍රකාශ කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහා මැතිවරණය කල් දැමීමට සිවිල් රජය අපහොසත් වූ බවයි. 

2008 වසරේ දී මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මියන්මාරය විසින් ඇති කළ අතර එමඟින් සිවිල් පාලනයක් මත සිය බලය රඳවා තබා ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණි. එමෙන්ම මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රධාන කැබිනට් අමාත්‍යාංශ සහ පාර්ලිමේන්තුවේ ආසනවලින් 25% ක් එරට හමුදාව සඳහා වෙන් කර ඇති අතර එය විසින් සිවිල් ආණ්ඩුවේ බලය සීමා කර තිබුණි. එමෙන්ම හමුදාවේ 25% සහාය නොමැතිව එරට පාර්ලිමේන්තුව තුළ කිසිම ප්‍රතිපත්තියක් හෝ වගන්තියක් සංශෝධනය කිරීමද කළ නොහැකිය.

බොහෝ දේශපාලන විචාකරයක් අවධාරණය කර තිබුණේ මෙම ව්‍යාස්ථා ක්‍රමවේදයන් සියල්ලම එරට හමුදා පාලනය නැති බව හඟවමින් බලයේ රැඳී සිටීම වෙනුවෙන් කළ කුමන්ත්‍රණයක් බවයි.

මේ වන විට ආවුන් සාන් සුකීගේ පාලනය බිඳ වැටී ඇති අතර උප ජනාධිපතිවරයා මෙන්ම හිටපු හමුදා නිලධාරියෙකු වන මයින්ට් ස්වේ රජයේ ප්‍රධානියා ලෙස හමුදාව විසින් පත් කර තිබේ.

බල පෙරළියට බලපෑ ඡන්දය

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී පැවැති මහා මැතිවරණයේ දී අවුන් සාන් සූකීගේ පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ඉහළ සහ පහළ සභා සියල්ලන්ගේ ම ආසන 476න් ආසන 396ක් ලබා ගැනීමට සමත්විය. මියන්මාර මැතිවරණ කොමිසම ද එම ප්‍රතිඵලය තහවුරු කර තිබුණි.

එහෙත් මැතිවරණයෙන් ටික කාලයකට පසුව එරට හමුදාව විසින් මැතිවරණ අක්‍රමිකතා ඇතිව ඇති බවට චෝදනා කළ අතර නගර 314ක ඡන්ද අක්‍රමිකතා මිලියන ගණනක් වාර්තා වී ඇති බවටද ඔවුන් සඳහන් කළේය.

නමුත් දේශපාලන විචාරකයන් පවසා සිටියේ හමුදාවට එම චෝදනා ඔප්පු කිරීම සඳහා කිසිදු ආකාරයක සාක්ෂියක් නොතිබුණු බවයි. එමෙන්ම එරට රාජ්‍ය මැතිවරණ කොමිසම ද මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ බව සඳහන් වෙයි.

මෙලෙස හමුදා පාලනය රාජ්‍ය බලය නතු කරගෙන තිබුණේ මහා මැතිවරණයෙන් පත් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ දීය. දිවුරුම් දීමට සුදානමින් සිටි සූ කී සහ අනිකුත් මන්ත්‍රීවරුන් පිරිස හමුදා රජය විසින් රඳවා තබාගෙන තිබේ.

එරට හමුදා නාලිකාවෙන්  නිවේදනයක් නිකුත් කරමින් හමුදාව කියා සිටියේ වසරක හදිස්සි තත්ත්වය අවසන් වීමෙන් පසු හමුදාව මැතිවරණයක් පවත්වනු ඇති බවත් ඉන් ජයග්‍රහණය ලබා ගන්න පුද්ගලයාට රාජ්‍ය බලය පවරා දෙන බවයි.

මියන්මාරයේ දැන් මොකද වෙන්නේ?

මියන්මාරයේ මේ වන විට විදුලි සංදේශන සේවා නතර කර තිබේ. එමෙන්ම මියන්මාර අගනුවර අන්තර්ජාලය සහ දුරකථන ප්‍රවේශය අවහිර වී ඇති බවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. තවමත් අන්තර්ජාලයට පිවිසිය හැකි රටේ වෙනත් ප්‍රදේශවල බොහෝ පුද්ගලයින් සමාජ මාධ්‍ය ගිණුම් තාවකාලිකව අත්හිටුවා ඇති බවද වාර්තා වෙයි.

එරට විශාලතම නගරය වන යාන්ගොන් හරහා කටු කම්බිද මාර්ග අවහිර වන කොන්ක්‍රීට් කුට්ටි දමා ඇති අතර නගර ශාලාව වැනි රජයේ ගොඩනැගිලිවලින් පිටත හමුදා ඒකක දමා තිබේ.

ජනතාව බොහෝ දෙනා කඩ සාප්පු වෙතට මෙන්ම, ATM යන්ත්‍ර වෙත ගොස් තිබූ අතර තමන්ට අවශ්‍ය දේවල් රැස් කරමින් සිටි බවත් සඳහන් වෙයි. සමහර නිවැසියන් තම නිවෙස්වල ගසා තිබූ සූ කීගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ සැරසිලි, සිතුවම් සහ අනිකුත් සැරසිලි ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

මියන්මාරයේ ඊළඟට මොකද වෙන්නේ?

ලෝකයේ මානව හිමිකම් සංවිධානයන් මේ වන විටත් මියන්මාරයේ සිදුව තිබෙන මෙම අර්බුදය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති අතර එය මියන්මාරය විසින් ගොඩ නගා ගත් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද පහරක් ලෙසද අර්ථ දක්වා තිබුණි.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටින්නන්, මාධ්‍යවේදීන් සහ හමුදාව විවේචනය කරන වෙනත් අයව තවදුරටත් මර්දනය කරනු ඇතැයිද මේ වන විට බියක් ඇතිව තිබෙන අතර වර්තමාන හමුදා පවරා ගැනීමට පෙර කළින් හමුදා පාලනයන් පැවැති අවස්ථාවේ දී මාධ්‍යවේදීන්, නිදහස් කථිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ හමුදා පාලනය විවේචනය කරන්නන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී තිබුණි.

එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මියන්මාරයට එරෙහිව නැවත වරක් ආර්ථික සම්බාධක පැනවීමට ඉඩ ඇති බවට ඇමෙරිකානු සෙනට් සභිකයන් විසින් අනතුරු අඟවා තිබේ. “වහාම මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් නිදහස් කර ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය” ලෙසද ඇමෙරිකානු සෙනට් සභාවේ සභිකයන් විසින් මියන්මාර හමුදාවට දැනුම් දී ඇති බවද සඳහන් වෙයි.

එමෙන්ම එසේ නොකරන්නේ නම්, එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් එක්ව මිලිටරි හා හමුදා නායකයින්ට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක මෙන්ම වෙනත් ක්‍රියාමාර්ග ද පනවන බවද ඇමෙරිකානු සෙනට් සභාව අවධාරණය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 March 2021 15:04