October 30, 2020

අප්පුඩි ගසා පොළොන්නරු උකුස්සා පළවා හරිමු

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුග්‍රහයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පොළොන්නරුව පිළිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය නම් කෘතියක් නිකුත් කොට තිබේ. එහි මිල රුපියල් 3500 කි. පොත නම්කොට ඇත්තේ ‘‘​පොළොන්නරුව - නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා’’ යනුවෙනි. පොළොන්නරු වංශ කතාවේ මෛත්‍රිපාල සාධකය නම් වූ වන්දිභට්ට ලිපිය හැරෙන්නට මේ පර්‌යේෂණ ග්‍රන්ථයේ එන ලිපි සියල්ලම පාහේ, විද්‍යාර්ථීන්ට ප්‍රයෝජනවත් වනු ඇති බව මගේ හැඟීමයි. එහි එක් ලිපියක අග සමාලෝචනයක මෙසේ දැක්වේ.

‘‘නිවැරදි නායකත්වය යටතේ එක්සේසත් රටක් ඇති කිරීම, නීතියේ ආධිපත්‍යයට බලයේ ආධිපත්‍යය යටත් බව, බලය කේන්ද්‍රගත කිරීම, කේන්ද්‍ර බලය නිවැරදිව භාවිත කිරීමේ හැකියාව, මානව හා භෞතික සම්පත් කළමනාකරණයෙහිලා පාලකයාගේ දක්ෂතාව දේශද්‍රෝහීන්ට සමාව නොදීමේ ප්‍රතිපත්තිගරුක බව ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනයෙහි සමබරතාව’’ පොළොන්නරුව නරපති යුගයෙන් නිරූපිත වන්නේය.

එම යුගයේ නරපතියන්ට මේ ලක්ෂණ තිබෙන්නට ඇතිමුත් පොළොන්නරුවේ ජනපතිට නම් මේවා නොතිබුණු බව අපට ඇස් පනාපිටම දැකගන්නට හැකි වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ වෙනුවට දැන් ඔහු පෙන්නුම් කරන්නේ උකුස්සාගේ චරිත ලක්ෂණය.

පාසල් ළමුන් පවා දන්නා උකුස්සා වන්නම මහනුවර යුගයේ රචිත දහඅට වන්නමෙන් එකකි. ඒ සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහය. එයින් නිරූපණය වන්නේ උකුස්සා පිළිබඳ වර්ණනාවකි. එසේ වුවත් උකුස්සා බියකරු සතෙකි. උකුස්සෙකු විසින් පටාචාරාවගේ දරුවන් පැහැර ගැනීමේ අනුවේදනීය කතාව බෞද්ධ අපට කිසිදා අමතක වන්නේ නැත. අහසේ සිට හී සරයක් බඳු වේගයෙන් පියඹා විත්, කුකුළු පැටවුන් වැනි කුඩා සතුන් පැහැර ගැනීම උකුස්සාගේ ස්වභාවයයි. කෙතරම් බියකරු වුවද උකුස්සා පලවා හැරීම ද අසීරු දෙයක් නොවේ. කුකුළු ගොවිපොළවල් අසල පඹයෙක් සිටවීම ප්‍රමාණවත්ය. එංගලන්තය වැනි රටවල කුකුළු ගොවියෝ පඹයා ලෙස බකමූණෙක් නිර්මාණය කරති. ඒ කිසිත් නැතත් මහ හඬකින් අප්පුඩි ගසන්නට පුළුවන් නම් එවිටද උකුස්සා පළා යන්නේය.

අපට උකුස්සා ගැන කතා කරන්නට සිදු වී තිබෙන්නේ මෛත්‍රි පොළොන්නරුවේදී කළ කතාවක් නිසාය. පොළොන්නරුවේ රාජ්‍ය භීෂණයක් ඇති බව කියන ඔහු කොකා හා උකුස්සා පිළිබඳ කතාව දන්නේ දැයි ​පොළොන්නරු ජනතාවගෙන් විමසයි. කොකා දියේ කිමිදී මාළුවෙකු ඩැහැ ගනියි. ඌ එය අනුභව කරන්නට සැරසෙද්දීම විදුලි වේගයෙන් පහත් වන උකුස්සා මාළුවා ඩැහැ ගැනීම ඒ කතාවයි. මහ මැතිවරණයේදී තමන් ක්‍රියා කරන්නේ උකුස්සාගේ භූමිකාව බව ඔහු කියන්නේය.

මෛත්‍රි මේ උකුසු කතාවෙන් ප්‍රහාර එල්ල කරන්නේ පොළොන්නරුවේ තරුණ නායකයා වන රොෂාන් රණසිංහටය. ඔහු රොෂාන් රණසිංහට හොඳටම බිය වී ඇති බවකි, පෙනෙන්නේ. ජනාධිපති බලතල හැර දමා ගමට ගොස් කුඹුරක් කොටාගෙන ජීවත්වන බවට රටට, ජාතිය හා ලෝකයට ප්‍රතිඥා දුන් සරල ජනාධිපතිවරයා දැන් ඉව අල්ලන්නේ පාර්ලිමේන්තුවට විත් කථානායක කම ගන්නටය. වෙනම තරග කළහොත් තමන්ටත්, තමන් විසින් පජාත කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අත්වන ඉරණම හොඳින් දන්නා බැවින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් විය. තනිව තරග කළත් තමන්ට ජය ලබාගත හැකි බව පොහොට්ටුව සක්සුදක් සේ දන්නේය. එහෙත් ඔවුන්ගේ ඉලක්කය, ජයග්‍රහණය පමණක්ම නොවේ. තුනෙන් දෙකේ බලයක් ගැනීමය. ඒ සඳහා ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රයෝජනවත්ය.

පොදුජන පෙරමුණු ශ්‍රීලනිප සංධානයේ මෛත්‍රිට දුන් තනතුරේ නම සභාපතිය. නමුත් ඇත්තේ හිස් අකුරු හතරක් පමණක්ම බව දන්නෝ දනිති. සාමාන්‍ය පාක්ෂික දේශපාලකයන් සභාපති යන වචනයේ බර නිසා, අඩියක් පස්සට යන්නට හෝ හිටපු ජනපතිට මඳක් නැමී ආචාර කරන්නට හෝ ඉඩක් තිබිය හැකිය.

එහෙත් රොෂාන් රණසිංහ ඒ ජාතියේ දේශපාලකයෙක් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් මෛත්‍රිට සභාපතිකම දුන්නද, ඔහු පොළොන්නරුවේ සභාපති ධුරය මේ දේශපාලකයාට දෙන්නට සූදානම් නැත. රොෂාන් මෛත්‍රිට එළිපිට අභියෝග කරන්නේය. ඔහු පසුගියදා පැවැත් වූ රැස්වීමට අගමැතිවරයා සහභාගි වූ නමුත් සභාපති මෛත්‍රිට ආරාධනයක් ලැබුණේ නැත. රොෂාන්ට මෙසේ හැසිරෙන්නට සාධාරණ අයිතියක් ඇත්තේය. 2010 මැතිවරණයේදී ඡන්ද 56223 ක් ලබාගෙන පාර්ලිමේන්තුවට ආ ඔහු 2015 දී ඡන්ද 76825 ක් ගන්නේය. ජනපති මහින්දගේ පරාජයෙන් පසු නායකයා අත්හැර නොගිය කණ්ඩායමේ කැපී පෙනෙන චරිත අතර රොෂාන්ද මුල් පෙළේ සිටියේය.

මෛත්‍රි පිළිබඳ මීට පෙර මා ලියූ ලිපියක් කියවූ මගේ මිතුරෙක් මගෙන් විමසා සිටියේ හිටපු ජනපති සමග මගේ ඇති අමනාපය කුමක්ද කියාය. මෛත්‍රි සමග අමනාප වන්නට කිසිදු හේතුවක් මට නැත. ඒ පිළිබඳ කතා කරද්දී මගේ සිත දසක ගණනාවක් අතීතයට ඇදී යයි. මට මතක හැටියට ඒ හැත්තෑව දසකයේ අවසාන අවුරුද්ද විය යුතුය. එවකට මම කුමරි නම් යොවුන් පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කළෙමි. මගේ කාර්යාලය පිහිටා තිබුණේ දිවයින පුවත්පත් ආයතනයට නුදුරින් පිහිටි දියගල බෝයිස් ටවුන් නම් වූ ගොඩනැගිල්ලේය. දිනක් එතැනට මා හමුවන්නට මගේම වයසේ තරුණයෙක් පැමිණ සිටියේ මගේ පාසල් පන්ති මිතුරා වූ බැසිල් රාජපක්ෂගේ ලියුමක්ද අතැතිවය. ප්‍රිය මනාප පෙනුමක් ඇති තරුණයා නිල්පාට කොටු කමිසයක්ද සරමක්ද ඇඳ රබර් සෙරෙප්පු දෙකක්ද දමා සිටි බව මට මතකය. ලිපිය රැගෙන එන්නේ ශ්‍රීලනිප තරුණ සංවිධානයේ ලේකම් බවත්, ඔවුන්ගේ සම්මේලනය වෙනුවෙන් සමරු කලාපයක් සැලසුම් කිරීම ඔහුගේ අවශ්‍යතාව සැලසුම් කොට දීම බවත් බැසිල් සිය ලියුමෙන් ඉල්ලා තිබුණි. ඒ තරුණයා පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේනය.

මට හමු වූ මුල් දිනයේ සිට මෛත්‍රිපාල දීර්ඝ දේශපාලන ගමනක් පැමිණ තිබේ. ජනාධිපතිකම හැරෙන්නට මෛත්‍රිට ලැබුණු බොහෝ තනතුරු ඔහුගේ දක්ෂතාව මත ලැබුණු ඒවාය. ජනපති ධුරය දක්වා වූ ඔහුගේ ගමන පිළිබඳ විශේෂ දොසක් පවරන්නට ඉඩක් ඇත්තේ නැත. බිත්තර ආප්ප කා පැත්ත මාරු කිරීම වුව අපේ දේශපාලනයට නුහුරු දේවල් නොවන බැවින් කිව හැක්කේ එය නිවට ක්‍රියාවක් පමණක් බවය. පොදු අපේක්ෂකයා වීම පිළිබඳව ද මෛත්‍රිගේ පැත්තෙන් යම් සාධාරණ හේතු තිබෙන්නට ඇත. රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීමද එම කාලයේ අවශ්‍යතාවක් වූ බව පිළිගත යුතුව තිබේ. මගේ නොකැමැත්ත ඇතිවන්නේ ජනාධිපතිවරණ වේදිකාවලදී ඔහු කියූ පට්ට කෙබර පිළිබඳවය. එහෙත් මගේ අමනාපයද, විරෝධයද, පිළිකුලද ඇතිවන්නේ අවුරුදු පහකටත් අඩු කාලයකදී ඔහු මගේ රට, ගොඩ ගැනීමට අසීරු පල් වළකට ඇද දැමීම පිළිබඳවය. ඔහු කළ විනාශය පිළිබඳ උපේක්ෂා සිතින්, කල්පනා කරන්නටවත් මගේ සිතට ඉහිලුම් දෙන්නේ නැත.

‘‘ඉතින් ඔබ ඔහු ගෙදර යනකම්ම හිටියද පහර දෙන්න?’’ මගේ මිතුරා විමසයි. නැත. බලයේ සිටි කාලයේදීම මා ඔහුට ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූ ආකාරය මගෙ අත්දැකීම් දෙකක් ඇසුරෙන් පැවසීමි. එක් අත්දැකීමක් ලැබුණේ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොලමන්ස්ගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයේදීය. මම ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි, ඔහුගේ බිරිඳ චරිතා ප්‍රියදර්ශනී ඇතුළු කිහිප දෙනකු සමග එකම මේසයේ වාඩි වී දිවා භෝජනය ගනිමින් සිටියෙමි. ජනපති මෛත්‍රිද අප සිටි මේසයට ආවේය.

ඔහු එඩ්වඩ්, චරිතා ඇතුළු සියලු දෙනාගෙන්ම කොහොමද ඉතින් තොරතුරු කියා මා දෙසද හැරී ආ සභාතිතුමායි කීවේය. ආරක්ෂක නිලධාරියෙක් මෛත්‍රිගේ කෑම පිඟාන ගෙන ආවේය. එඩ්වඩ් මගේ අත්නි අල්ලා මා වළක්වන්නට හදද්දීම මම මගේ පිඟාන රැගෙන අසල තිබූ මේසයක් වෙත ගොස් වාඩි වුණෙමි. අවට සිටි සියලු දෙනාම මගේ විරෝධය දැක ගන්නට ඇත.

දෙවැනි විරෝධයට අවස්ථාව ලැබුණේ 2016 නොවැම්බර් මාසයේදීය. ඔබ කවරුත් දන්නා, හඳුනන ප්‍රකට කාටූන් චිත්‍ර ශිල්පී කැමිලස් පෙරේරාගේ ජීවිතයට පනස් වසරක් පිරීමේ උත්සවයක් පැවැත් වුණි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වුණු මේ උපහාර උළෙලට දේශපාලකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, උසස් නිලධාරින් ඇතුළු සම්භාවනීය ප්‍රභූ පිරිසක් සහභාගි වී සිටියහ. උත්සවයේ මුඛ්‍ය දේශනය පැවැත් වීම සඳහා මට ඇරියුම් කොට තිබුණි. දසක තුනක් හතරක් තිස්සේ කැමිලස්ගේ කාටූන් ජීවිතය ඇසුරු කරන්නට ලැබීම නිසා ඔහු මගේ සමීප මිතුරෙකුව සිටියේය. ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ද ආරාධිතයන් අතර වූහ.

මගේ දේශනය ආරම්භ විය. සභාවෙන් අවසර ගැනීමේ සිරිත ආරම්භ කරනු වස් මම උත්සවයට එක්ව සිටි ගෞරවනීය ආරාධිතයා වූ අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන් අවසර ගත්තෙමි. ඉන්පසු කැමිලස් පෙරේරා හා එම මැතිනියගෙන්ද තවත් කීප දෙනෙක්ද අවසර ගත්තෙමි. මා අවසානයට අවසර ගත්තේ උත්සවයට එක්ව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙනි. කැමිලස්ගේ කාටූන් ශිල්පය හා ඔහුගේ කැපවීම ඇගයීමට ලක් කෙරුණු මගේ කතාව මිනිත්තු විස්සකට පමණ සීමා විය. කතාව අවසන් කළ මම මගේ අසුන වෙත පා නැගුවෙමි. මා වාඩිවී සිටියේ වම් පැත්තේ තුන්වැනි පේළියේ විය යුතුය. මගේ එක් පැත්තකින් වාඩි වී සිටියේ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකය. අනෙක් පැත්තෙන් දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරය. ජනාධිපතිවරයා වාඩි වී සිටියේ කැමිලස් පෙරේරා හා කාදිනල් හිමිපාණන් සමග දකුණු පැත්තේ මුල් පේළියේය.

මා අසුන් ගනිද්දීම ජෙනරාල් දයා රත්නායක රහසින් මෙන් මගෙන් විමසුවේ,

‘‘කතාව පටන් ගනිද්දී ඔයාට ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලන්න බැරිවුණා නේද?’’ කියාය.

මම ඔහුට පිළිතුරක් නොදුන්නෙමි.

‘‘නැත්නම් ඕනෑකමින්ම මඟහැරියද? ජනාධිපතිට කරපු ඉන්සලට් එකක් වගේ දැනේවි.’’

ජෙනරාල් රත්නායක නැවතත් කීවේය. මම නිහඬව සිටියෙමි. ඉදිරි පෙළ අසුන්වල සිටි අමුත්තන් කිහිප දෙනෙක්ද හැරී මා දෙස බලනු දුටුවෙමි.

‘‘බන්දුල අයියා පොඩ්ඩක් මේ පුටු අතරින් ගිහිල්ලා ජනාධිපතිතුමාට වෙච්ච දේ කියලා සොරි කිව්වොත් හොඳයි නේද?’’

අත පොවන දුරින් සිටි ජනාධිපතිවරයා පෙන්වමින්, පහත් හඬින් මට කීවේ දියවඩන නිලමේතුමාය. මම මුනිවත රැක්කෙමි.

උත්සව සභාව අවසන් විය. ජනාධිපති ප්‍රමුඛ ආරාධිත ප්‍රභූවරුන් කිහිප දෙනෙක් ශාලාවේ වෙනත් තැනක පිළිවෙල කොට තැබූ තේ පැන් සංග්‍රහය සඳහා ගියහ. කැමිලස් ගේ පුතු ගයාන් පෙරේරා අප කිහිප දෙනා කතා බහ කරමින් සිටින තැනට ආවේය.

“බන්දුල අංකල් එන්න. තේකක් බොන්න එන්න”

“හරි හරි ඔයා යන්න මම එන්නම්” මම කීවෙමි. “යන්න එතෙන්ට ගිහිල්ලා ප්‍රසිඩන්ට්ට ඇපොලජයිස් කරන්න” අප සමඟ සිටි කිසිවෙක් මා සමග කොඳුරා කීවේය.

මම තේ පැන් සංග්‍රහයට නොගියෙමි. මේ රට විනාශ මුඛයට ඇඳ දැමූ නිවට දේශපාලකයෙකුට මෙසේ විරෝධය පලකරන්නට හැකිවීම පිළිබඳ අදත් මා තුල ඇත්තේ සියුම් ආඩම්බරයකි.

දැන් රොෂාන් රණසිංහ, ජනපති උකුස්සාට විරෝධය පලකරනු වස් අප්පුඩි ගසමින් පෙරමුණට පැමිණි සිටී. දැන් පොළොන්නරු ජනතාව කළ යුත්තේ, මේ තරුණ නායකයා හා එක්වෙමින්, පොළොන්නරුවට පමණක් නොව, මුළු රටටම ඇසෙන්නට දැවන්ත ගිගුරුම් හඬකින් අප්පුඩි ගසා රටට වින කළ උකුස්සා පළවා හැරීමයි.

- බන්දුල පද්මකුමාර -

Rate this item
(2 votes)
Last modified on Tuesday, 13 October 2020 09:29