April 18, 2024

විශිෂ්ඨ පොත් මිලදී ගැනීම පොන්නකමක්ද?

අල්ලස් හා දූෂණ වංචා කොමිසමේ ”ගොන් පාට්” වැඩක් ගැන මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන අපූරු කතාවක් මා සමග කීවේය. පසුගිය දිනෙක මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැදවනු ලැබීය. ඒ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නටය. කොළඹ ජාතික පුස්තකාලයේ පොත් ප‍්‍රදර්ශනයක් නරඹන්නට පාසල් ළමුන්ට නිර්දේශ කරන ලෙස එදා අධ්‍යාපන අමාත්‍ය ගුණවර්ධන උපදෙස් දී තිබේ. අල්ලස් කොමිසම ප‍්‍රශ්න කරන්නේ ඒ ගැනය. 

අල්ලස් කොමිසම: පොත් ප‍්‍රදර්ශනයක් නැරඹීම සදහා පාසල් ළමුන්ට නිර්දේශ කරන ලෙස ඔබ අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේ කුමන පදනමක් යටතේද?

බන්දුල ගුණවර්ධන: තමුන් පොලිස් නිලධාරියෙක් නේද? අධ්‍යාපන ඇමතිකමක් කරල නෑනෙ. ඒ නිසා මේක දැනගන්න, ලංකාවේ විශිෂ්ඨතම පොත් 250ක් පිළිබද ප‍්‍රදර්ශනයක් බලන්න යන්න කියල පාසල් ළමුන්ට නිර්දේශයක් යවන්න බැරිනම් ඒක අධ්‍යාපන ඇමතිකමක් නොවෙයි පොන්න ඇමතිකමක් වෙන්න ඕනැ.

කටකාර බන්දුල ගුණවර්ධනගේ මේ පිළිතුරෙන් අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරීන්ට ලජ්ජා හිතුනු බවට සැකයක් නැත. 

2014 වර්ෂයේ නොවැම්බර් මාසයේ කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වුනු මේ පොත් ප‍්‍රදර්ශනය විසිදුනු ප‍්‍රකාශකයන් විසින් සංවිධානය කොට තිබිණි. ප‍්‍රදර්ශනය නම්කොට තිබුනේ ”විශිෂ්ඨතම කෘතීන් 250ක්” යන තේමාව යටතේය. එයට සමගාමීව හොද පොත් පිළිබද සම්මන්ත‍්‍රණ හා දේශන මාලාවක්ද පැවැත්වුනි. එම උත්සවයේ මුලසුන හොබවන ලද්දේ පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද නා හිමිපාණන් වහන්සේය. වි. ජ. මු. ලොකු බණ්ඩාර, මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රත්න ශී‍්‍ර විජේසිංහ, ආචාර්ය ගුණදාස අමරසේකර ආදීහු උත්සවයට පැමිණ සිටියහ.

ප‍්‍රදර්ශනයට ඇතුලත් වූයේ කුමාරතුංග මුනිදාස, සෙනරත් පරණවිතාන, ගුණදාස අමරසේකර, සිබිල් වෙත්තසිංහ ආදී විශිෂ්ඨ ලේඛකයන්ගේ කෘතීන්ය. විසිදුනු ප‍්‍රකාශකයන් අතගසා තිබුනේ බැරෑරුම් සත් කි‍්‍රයාවකට බව ආනන්ද නා හිමියෝ ප‍්‍රකාශ කළහ. කුමාරතුංග මුනිදාසයන් ආචාර්ය සෙනරත් පරණවිතාන වැනි වියතුන් මුල් අවධියේ දී ලියූ පොත් මුල් මුද්‍රණයන්ගෙන් පසු නැවත පලවී තිබුනේ නැත. සමහර පොත් සොයා ගැනීමට පවා අපහසු දුර්ලභ ඒවාය. ඒවා අතර කුමාරතුංග මුණිදාසයන් පාසල් දරුවන්ට ලියූ හා හා හරි හාවා, නැළැවිල්ල, මගේ පාසල, සිරිමත්, කියවණ නුවන, වැනි පොත්ද විය. මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස ලියූ ජාත්‍යානුරාගය - සමාජ ශාස්තී‍්‍රය විමර්ශනයක් (රාජ්‍ය සම්මාන), මහාචාර්ය විමල් දිසානායක ලියූ නව විචාර සංකල්ප (රාජ්‍ය සම්මාන) වැනි රාජ්‍ය ගෞරව ලත් පොත්ද විය. මහාචාර්ය රැල්ෆ් පීරිස් ගේ සිංහල සමාජ සංවිධානය (යුනෙස්කො සම්මාන), ආර්. එල්. බ්‍රොහියර් ගේ කොළොම්පුර වෘතාන්තය, ජෝන් ඩොයිලිගේ සිංහල ආණ්ඩු ක‍්‍රමය වැනි විශිෂ්ඨ ඉංගි‍්‍රසි කෘතීන් වල පරිවර්තනද මේ පොත් 250ට ඇතුලත්වී තිබිණි. ආචාර්ය සෙනරත් පරණවිතාන ලියූ සිංහලයෝ සහ පුරාවිද්‍යා පර්යේෂණ නම් අගනා කෘති දෙක මුල් මුද්‍රණයෙන් දශක කිහිපයකට පසු නැවත ප‍්‍රකාශනයට පත් කොට තිබුණේ මේ ප‍්‍රදර්ශනය සදහාය. ආචාර්ය ගුණදාස අමරසේකරයන් ගේ අමල් බිසෝ, කරුමක්කාරයෝ, අලියා සහ අන්ධයෝ ඇතුළු කෘතීන් රැසක්ද අපට සිටින විශිෂ්ඨතම ළමා පොත් ලේඛිකාව ලෙස සැලකෙන සිබිල් වෙත්තසිංහ ලියූ දුවන රුවුළ, කෝච්චි පුංචා, කුඩ හොරා, කැවුම් යෝධයා වැනි පොත් මෙන්ම අනගාරික ධර්මපාල තුමා ලියූ දැනගත යුතු කරුණු වැනි පොත්ද - විසිදුනු ප‍්‍රකාශකයන්ගේ පොත් ප‍්‍රදර්ශනයට ඇතුලත්ව තිබිණි. 

පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ඇරයුම් ලැබුවද, ඇමති බන්දුල ගුණවර්ධනට එම අවස්ථාවට සහභාගී වන්නට ඉඩක් ලැබුනේ නැත. ඇමතිවරයා වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් අනුර  දිසානායක ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී වූහ. ඉන් සති කිහිපයකට පසු අධ්‍යාපන අමාත්‍යංශයෙන් විසිදුනු පොත් ප‍්‍රකාශකයන්ට ලිපියක් ලැබුණි. ඒ ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කොට තිබූ පොත් වලින් කිහිපයක් පාසල් පුස්තකාලවලට මිළ දී ගැනීමට හැකි බව දන්වමින්, ඒ සදහා පොත් වල මිල ගණන් දන්වා එවන ලෙසටයි. විසිදුනු ප‍්‍රකාශකයන් විසින් මිළ ගණන් දන්වා යවනු ලැබූ අතර, පොත් 250 අතරින් පොත් 150 ක් තෝරාගනු ලැබූ අතර එක් පොතකින් පිටපත් සියයත් එකසිය පණහත් අතර ප‍්‍රමාණයක් මිළදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය කැමැත්ත පළ කළේය. ඒ අනුව රුපියල් ලක්‍ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුතු පොත් තොගයක් මිළ දී ගනු ලැබීය. අධ්‍යාපන අමාත්‍යංශ විසින් පාසල් දරුවන්ට නොමිලයේ ලබාදෙන පෙළ පොත් සදහා රුපියල් මිලියන 2500 - 3000 ක් වාර්ෂිකව වැය කරණු ලැබේ. එබැවින් අධ්‍යාපන අමාත්‍යංශයට හිතූ හිතූ හැටියට පාසල් පුස්තකාල සදහා පොත් මිලදී ගන්නට නොහැකිය. මිළ දී ගන්නා සියලූ පොත් අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන මණ්ඩලය විසින් අනුමත කරණ ලද ඒවා විය යුතුය. ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබූ ”ග‍්‍රාන්ට්” මුදලකින් යම් මුදල් ප‍්‍රමාණයක් 2014 වර්ෂය අවසන් වන විට අමාත්‍යංශයේ ඉතිරිවී තිබිණි. එම මුදල් කිසියම් කටයුත්තකට පාවිච්චි නොකරන්නේ නම් ආපසු සංවර්ධන බැංකුවට යැවිය යුතුය. විශිෂ්ඨතම පොත් මිළ දී ගැනීම සදහා අමාත්‍යංශය විසින් පාවිච්චි කරන ලද්දේ එම අනුග‍්‍රාහක මුදලයි. 

රටට, ජාතියට, භාෂාවට ආදරය කරන, ගරු කරන ඕනෑම කෙනෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ මේ යහපත් කි‍්‍රයාව ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතාකරණු ඇත. එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? යහපාලන අල්ලස් කොමිසම මේ පොත් මිළ දී ගැනීම හොරකමක් ලෙස සලකයි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ හිටපු ඇමති බන්දුල ගුණවර්ධනට මඩ පහරක් එල්ල කරන්නටය. පොත් සදහා අමාත්‍යංශය වෙත ලබාදුන් 25% වට්ටම වෙනුවට 35% ලබා නොදුන්නේ මන්දැයි ඔවුහු විමසති. විසිදුනු ප‍්‍රකාශන ආයතනය හිමිකරු කුමාරතුංග මුනිදාස ශ්‍රේෂ්ඨයානන්ගේ මුණුපුරු ගෙවිදු කුමාරතුංග ය. ඔහු ජාතිකත්වය, රට, ජාතිය, ආගම වෙනුවෙන් ඉදිරිපත් වන විද්වතෙකි. සරසවියේදී ගණිතය පිළිබද උපාධියක් ලබාගත් ඔහු පොත් ප‍්‍රකාශනයට පිවිසෙන්නේ පොත් වෙළෙන්දෙක් වීමට නොවේ. රටේ දූ දරුවන් වෙනුවෙන් හොද පොත් ප‍්‍රකාශනය කරන්නටය. දැන් ඔහුට සිදුව ඇත්තේ අල්ලස් කොමිසමට යන්නටය. ඔහු කර ඇති වරද කුමක්ද? මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටීමය. රට, ජාතිය, ආගම, වෙනුවෙන් නිර්භීතව, අදීනව අදහස් ප‍්‍රකාශ කිරීමය. පසුගිය මැතිවරණයේ දී හිටපු ජනපති රාජපක්‍ෂ විසින් ඔහුගේ නම සිය ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට තිබුණි. 2014 අධ්‍යාපන අමාත්‍යංශය විසිදුනු පොත් මිළ දී ගන්නා විට, ගෙවිදුට දේශපාලනයට පිවිසෙන්නට කිසිදු අදහසක් තිබුනේ නැත. ඔහු ජාතික ලැයිස්තු නාම යෝජනාව පවා කිහිපවතාවක්ම ප‍්‍රතික්ෂේප කළ සරළ මිනිසෙක් බව මම දනිමි. 

පොත් මිළ දී ගැනීමේදී වංචාවක් සිදු වී ඇතැයි ඔප්පු කර ගැනීම පිණිස අල්ලස් කොමිසම ප‍්‍රවීන පොත් ප‍්‍රකාශකයින් කිහිප දෙනෙක්ද කොමිසමට ගෙන්වා ප‍්‍රශ්න කොට තිබේ. ඔවුන් අතර සරසවි ප‍්‍රකාශන හිමිකරු එච්. ඩී. පේ‍්‍රමසිරි ද, දයාවංශ ජයකොඩි ද, එස්. ගොඩගේ ද වූහ. මෙවැනි හොද මිනිසුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් කොතරම් ලජ්ජා සහගත ඒවාදැයි සිතන්න. 

මඩක් සොයාගන්නට ඕනෑම වූ නිසාදෝ අල්ලස් කොමිසමේ නිලධාරියෙක්, අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුර දිසානායකගෙන් ඇසුවේ අමන ප‍්‍රශ්නයකි. 

රටේ සංහිදියාවක් ඇති කළ යුතු අවදියක මිළ දී ගැනීමට මේ සිංහල පොත්ම තෝරා ගත්තේ ඇයි?

ඉතින් මුනිදාස කුමාරතුංග මහත්තයා සිංහලෙන් නේ පොත් ලියල තියෙන්නෙ, දෙමළෙන් ලියල තිබුන නම් තෝරා ගන්න තිබුන තමයි. අනුර දිසානායක පිළිතුරු දුන්නේය.

අල්ලස් කොමිසමේ පරීක්‍ෂණය තවමත් අවසන් නැති බව බන්දුල ගුණවර්ධන කියයි. 

සුප‍්‍රකට පොත් ප‍්‍රකාශකයෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය මෛති‍්‍ර හා රනිල් ගේ යහපාලන රජය බලයට ගෙන ඒමට මුල්වූ ප‍්‍රමුඛයෙකි. 

ඔහු මේ අල්ලස් පරීක්‍ෂණය ගැන කියන්නේ කුමක්දැයි පොත් කියවන ජනතාව විමසිල්ලෙන් සිටින බවට සැකයක් නැත. කොළඹ සිටින NGO කණ්ඩායමක් සමග නුවරට ගොස් දළදා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කළ යුතුයැයි උද්ඝෝෂණය කරන්නට තරම් යහපාලනයට කැපවී සිටින මහාචාර්යවරයා මේ ”ගොන් පාට්” පරික්‍ෂණය ගැන කියන්නේ කුමක්දැයි අපි බලා සිටින්නෙමු. 

Rate this item
(4 votes)
Last modified on Monday, 28 March 2016 23:46