April 20, 2024

වසර 9 පසු අඟුටුමිටි ලෝකයක්

December 09, 2014
වසර 9 ක දිගු ගමනකින් පසු තම ගමනාන්තය වන ප්ලූටෝ අඟුටුමිටි ග‍්‍රහයා වෙත ළඟාවීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) නිව් හොරයිසන් අභ්‍යාවකාශ පරීක්ෂක යානාව පසුගියදා සමත්විය.
 
2006 වසරේදී අභ්‍යාවකාශගත කෙරුණු නිව් හොරයිසන් මේ වන විට පවතිනුයේ පෘථිවියේ සිට සැතපුම් බිලියන 3 ක් පමණ ඈතිනි. එහි සිට එන පණිවුඩයක් පෘථිවිය වෙත ළගාවීමට පැය 4 - 5 වැනි කාලයක් ගතවන බව කියැවේ.
තම ගමනින් වැඩි කාලයක් නිව් හොරයිසන් සිටියේ ‘හේමන්ත‘ නින්දේය.නමුත් නාසා විද්‍යාඥයෝ වරින් වර එය අවදි කරවා තොරතුරු සොයා බැලූහ.
ප්ලූටෝ වෙත ළගාවුවද එහි කක්ෂයට ඇතුළුවීමට නිව් හොරයිසන් හට තවත් මාස 7 ක් පමණ ගතවනු ඇති බව සඳහන්ය.
සෞරග‍්‍රහ මණ්ඩලයට තවදුරටත් අයත් නොවූවද ප්ලූටෝ කෙරෙහි අභ්‍යාවකාශ විද්‍යාඥයින්ගේ ඇති උනන්දුව තවමත් නොසිඳී පැවැතෙන්නකි. විශේෂයෙන් එහි අසාමාන්‍ය කක්ෂයත්, උප ග‍්‍රහයා වන චාරොනුත් ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.
 
නිව් හොරයිසන් යොදාගෙන ප්ලූටෝ ගැන මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රාශියක් හෙළි කර ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
මේ කටයුතු සදහා නිව් හොරයිසන් මත පමණටත් වඩා උපකරණ තිබෙන අතර පාරජම්බුල කිරණ නිරීක්ෂක, අධි විභේදන කැමරා, ආදියෙන් එය සන්නද්ධය.
Rate this item
(0 votes)