April 20, 2024

සිපිරිගෙයි දි කාන්තාවක් වු ඇමරිකන් හමුදා සෙබළා බ්‍රැඩ්ලි මැනිං

December 05, 2014
බ්‍රැඩ්ලි මැනිං (Bradley Manning) ගැන ඔබ ඕනෑවටත් වඩා අසා තිබෙනවා. ඇමරිකාවේ රහස්‌ ලිපි ලේඛන දශලක්‍ෂ ගණනක්‌ පරිගණක දත්ත ගබඩාවලින් සොරාගෙන විකීලික්‌ස්‌ ආයතනයට ලබාදී එරට මහත් අමාරුවකට ඇද දැමූ ඇමරිකන් හමුදා සෙබළා ලෙස බ්‍රැඩ්ලි මැනිං ඉතිහාසයට එක්‌ව තිබෙනවා. ඇමරිකාවේ රාජ්‍ය රහස්‌ පිට කිරීම, ඒවා 
සොරකම් කිරීම, රාජෙද්‍රඩහීත්වය ඇතුළු චෝදනා 20 කින් 17 කට වරදකරු වූ මේ 25 හැවිරිදි තරුණයා මේ දිනවල වසර 35 කින් ගෙවී යන වසර 90 ක සිර දඬුවමක්‌ විඳිමින් ඇමරිකාවේ කැනසාස්‌ නගරයේ ලීන්වර්ත් නගරයේ අධි ආරක්‍ෂිත හමුදා බන්ධනාගාරයක කාලය ගත කරනවා.
 
මේ අතර පසුගිය සතියේදී කවුරුවත් නොපැතූ ආකාරයේ සිදු වීමක්‌ වුණා. එය තමයි බ්‍රැඩ්ලි මැනිං තරුණියක ලෙස ජීවත්වීමට තීන්දු කිරීම. තමා තව දුරටත් බ්‍රැඩ්ලි මැනිං නොවන බවත් චෙල්සි මැනිං ලෙස ජීවත් වීමට තීරණය කර ඇති බවත් ඔහු සිර ගෙදර සිට නිවේදනය කළා. තම පියයුරු වර්ධනය කර ගැනීමට හෝමෝන එන්නත් අවශ්‍ය බවත් ඊට අමතරව ලිංගික විපර්යාසයක්‌ සිදු කරන සැත්කමකට භාජනය වීමට අදහසක්‌ නැති බවත් ඔහු (ඇය) එම නිවේදනයේ සඳහන් කළා. ඔහු (ඇය) පාවිච්චි කරන්නට යන්නේ ඊස්‌ට්‍රජන් එස්ට්‍රොගෙන් හෝමෝනයයි.
 
බ්‍රැඩ්ලි මැනිංගේ නීතිඥයාවන ඩේවිඩ් කූම්බ්ස්‌ කියන පරිදි දැනටමත් ගැහැණියක බවට පත්ව සිටින බ්‍රැඩ්ලි මැනිං දිගටම පිරිමි සිරකරුවන් අතර ජීවත් වීමට අපේක්‍ෂා කරනවා. ''මිනිසුන් හිතනවා ඇති බ්‍රැඩ්ලි මෙය කරන්නේ අනවශ්‍ය ප්‍රසිද්ධියක්‌ ලබා ගැනීමට බව එහෙත් මෙය සැබෑම තත්ත්වයක්‌.... ඔහු කියනවා.
 
බ්‍රැඩ්ලි මැනිං ලිංගික විපර්යාසයකට ගොදුරු වීමට පටන්ගත්තේ සෑහන කාලයක සිටයි. ඔහු එවැනි තත්ත්වයකට මුහුණ පා සිටින බව ඔහුට එරෙහි නඩුවේදී සාක්‍ෂි දුන් යුද හමුදා මනෝ වෛද්‍යවරයෙක්‌ සඳහන් කළා. ඔහු හිරගෙදරට ගිය සැනින් තමාට ලිංගික විපර්යාස හෝමෝන අවශ්‍ය බව සඳහන් කළා. එහෙත් එවැනි ආධාරයක්‌ සැපයීමට ප්‍රතිපාදන හෝ අවකාශ තමන් සතුව නැති බව බන්ධනාගාර ප්‍ර්‍රධානීන් කියා සිටියා.තම ලිංගික විපර්යාසය තම නීතිඥයා මගින් ප්‍රසිද්ධ කිරීමට බ්‍රැඩ්ලි මැනිං මෙවිට තීරණය කළා.
 
බ්‍රැඩ්ලි මැනිංගේ සම්පූර්ණ නම වූයේ බ්‍රැඩ්ලි එස්‌වර්ඩ් මැනිං යන්නයි. එහෙත් මෙතැන් පටන් චෙල්සි එළිසබෙත් මැනිං යනුවෙන් ඔහු (ඇය) භාවිතා කරනවා ඇත.
 
තම නම පිළිබඳ මතභේදයක්‌ පවතින මේ අවස්‌ථාවේදී හිරගෙදරට එවන ලියුම් බ්‍රැඩ්ලි මැනිං ලෙස එවන්නැයි ඔහු (ඇය) තම මිතුරු මිතුරියන්ගෙන් සහ පවුලේ අයගෙන් ඉල්ලනවා.
 
සාමාන්‍යයෙන් ඇමරිකානු සිරගෙවල් තුළ සිටින සිරකරුවකුට සෙසු සිරකරුවන්ගෙන් කදර පැමිණෙනවා නම් වෙන්වූ කාමරයක ජීවත් විය හැකියි. එහෙත් මැනිං දිගටම කියන්නේ තමන් සෙසු සිරකරුවන් සමග එහි ජීවත්වන බවයි. කෙසේ වුවද බ්‍රැඩ්ලිට කොණ්‌ඩය වැවීමට හෝ කාන්තා යට ඇඳුම් පරිහරණය කිරීමට ඉඩක්‌ නැති බව බන්ධනාගාරයේ ප්‍රධානීන් පවසනවා.
 
පළමු පන්තියේ සෙබළකු වූ බ්‍රැඩ්ලි මැනිං විකීලික්‌ස්‌ නඩුවෙහි වරදකරු වීමත් සමගම සාමාන්‍ය සෙබළකු ලෙස පහත් කරනු ලැබුවා. වසර 2020 දී ඔහු (ඇය) සිරෙන් නිදහස්‌ වීමට ඉඩ ඇති අතර ඉන් පසු සෙබළ භාවයෙන්ද ඉවත් කර විශ්‍රාම වැටුප ද අහිමි කරනවා ඇති.
 
බ්‍රැඩ්ලි මැනිංගේ නඩුවට ඩොලර් දශලක්‍ෂයක්‌ හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 12 ක්‌ පමණ වැය වුණා. ඔහුගේ නීතිඥයා නඩු ගාස්‌තුවක්‌ අය කළේ නැතත් විවිධ නෛතික ගාස්‌තු ගෙවීමට තිබුණා. ඒ සඳහා අවශ්‍ය වූ ඩොලර් දශලක්‍ෂය ඔහු එකතු කර ගත්තේ පරිත්‍යාගශීලින්ගෙන්.
 
බ්‍රැඩ්ලි මැනිං සෙබළ වෘත්තියේ කටයුතු කරමින් සිටියදීත් කාන්තා ඇඳුම් ඇඳ විග් එකක්‌ පැළඳීමට ආසා කළා. විග් එකක්‌ පැළඳ ඔහු ගත් ඡායාරූපයක්‌ නඩු විභාගය යන අතරදී ඇමරිකන් හමුදාව විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. එසේ කළේ මැනිං විකෘති මානසිකත්වයකින් පෙළෙන බව ජනතාවට දැන්වීමටයි. එහෙත් බාහිර ලෝකය තුළ මෙවැනි මත ප්‍රචාරය කිරීම දුෂ්කරයි. බ්‍රැඩ්ලි මැනිං,චෙල්සි මැනිං බවට පත්ව ඇති බව දැනගත් වහාම ඔහුගේ ආධාරකරුවන් කළේ ''බ්‍රැඩ්ලි නිදහස්‌ කරනු'' යනුවෙන් ලියා ප්‍රදර්ශනය කළ පුවරු විසිකර ''චෙල්සි නිදහස්‌ කරනු'' යනුවෙන් ලියූ අලුත් පුවරු අතට ගැනීමයි.
 
බ්‍රැඩ්ලිගේ කාන්තා ගතිගුණ නිසා යුද හමුදාව තුළදී ඔහු කොන් වුණා. මෙසේ කොන්වීම නිසා හටගත් මානසික පීඩනය මත ඔහු රාජ්‍ය රහස්‌ හෙළි දරව් කරන්නට ඇති බව ඔහුගේ නීතිඥයන්ගේ තර්කය වුණා.
 
කෙසේ වෙතත් බ්‍රැඩ්ලි මැනිං කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාවේ ව්‍යාප්තවාදී සහ ආක්‍රමණශීලී පිට පොත්ත ලෝකයට හෙළිදරව් කළ කෙනෙක්‌. ඒ අනුව ඇමරිකන් ඉතිහාසය තුළ ඔහු වැදගත් සළකුණක්‌ ඉතිරි කරනවා.
Rate this item
(0 votes)