April 20, 2024

ජීවිතයක් ජීවත් කරවු කතා මාලාව හැරී පොටර්

November 27, 2014
සිය ජීවිතයේ කියා ගන්නට බැරි තරම් දුක්බර සිදුවීමකදී පහළොස් හැවිරිදි කැසිඩි ස්ටේ තමාව ජීවත් කරවන්නට තෝරා ගත්තේ සිය ප්‍රියතම කතා මාලාව වන හැරි ‍පොටර්හි ඇල්බස් ඩම්බල්ඩෝර් විසින් කියූ වැකියකි. පසුගිය ජූලි මාසයේදී ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ එකම පවුලක සාමාජිකයින් හයදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සමස්ත ඇමෙරිකාවම සසල කිරීමට හේතු වූ අතර කැසිඩි යනු එම බිහිසුණු අත්දැකීමට මුහුණ දී දිවි ගලවා ගත් ස්ටේ පවු‍ලේ එකම සාමාජිකාවයි. වෙඩි කා මියගිය සිය දෙමාපියන්ගේ හා සොහොයුරු සොහොයුරියන්ගේ සිරුරු අතර සැඟවී මියගිය බව අඟවමින් දිවි බේරා ගත් කැසිඩි සැබෑම වීරවරියක් වන්නේ ඉන් නොනැවතී ‍පොලීසිය අමතා වෙඩික්කරුවා පිළිබඳ ඔවුන් දැනුවත් කර තම මුත්තනුවන් හා මිත්තනියන්ගේ ජීවිතද ගලවා ගැනීමට සමත් වීම නිසාය.
 
 සිය පවු‍ලේ සාමාජිකයින්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූවන් අමතමින් කැසිඩි සිදු කළ හැඟීම්බර කතාව බොහෝ දෙනකුගේ  දෙනෙත් තෙත් කිරීමට සමත් වූ අතර එහිදී ඇය සුප්‍රකට හැරි ‍පොටර් චිත්‍රපට මාලාවේ එන හොග්වර්ට්ස් මායා පාස‍ලේ මුල් ගුරුතුමා වන ඇල්බස් ඩම්බල්ඩෝර් විසින් කියූ වැකියක් උපුටා දැක්වූයේ මෙබඳු වේදනාකාරී මොහොතකදී වුවද ඉන් උගත හැකි උපදෙස් ඇති බව කාටත් පසක් කරමිනි.
 
ජීවිතයේ අඳුරුම අවස්ථාවන්වල දී වුවද ආලෝකය පතිත කිරීමට යමෙකුට මතක් වන්නේ නම් සතුට සොයා ගැනීම අපහසු නැත කියා ඩම්බල්ඩෝර් කියන්නේ හැරි ‍පොටර් තෙවන චිත්‍රපටය වන ප්‍රිස්නර් ඔෆ් අස්කාබාන් හිදීය. එම වැකිය සිය ජීවිතය හා ගළපා ගැනීමට පෙළඹුණු කැසිඩිට හැඟීම්බර ලිපියක් හැරි ‍පොටර් කතුවරිය වන ජේ.කේ. රෝලින් විසින් යවා ඇති අතර ඇල්බස් ඩම්බල්ඩෝර් විසින් ලියන ආකාරයට ඔහුටම ආවේණික වූ දම් පැහැ තීන්තෙන් සිහින් අත්අකුරින් ලියැවුණු මෙම ලිපිය සමග මන්ත්‍ර යෂ්ටියක් පමණක් නොව හොග්වර්ට්ස් මායා පාසලට ඇතුළු කර ගැනීමේ ලිපියක්, පාසල් උපකරණ ලැයිස්තුවක් හා සිය අත්සන සහිත හැරි ‍පොටර් ‍පොතක්ද ඇයට රෝලින් විසින් තිළිණ කර තිබිණි. කැසිඩි හා සම්බන්ධ වීමට රෝලින්ව ‍පොළඹවා ගැනීමේ අරමුණින් අන්තර්ජාලය ඔස්සේ සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ලිපිය ඇයට ලැබි තිබේ. ඉදිරියේදී කැසිඩි හට රෝලින් මුණගැසීමට අවස්ථාවක් සලසා දීමට ද කැසිඩි වෙනුවෙන් පෙනී සිටින ඇගේ මිතුරු කැළ උත්සාහ දරමින් සිටින්නෝය. ඔවුන්ගේ කැප වීමේ ප්‍රතිඵලයක් ලෙස කැසිඩි වෙත දැනටමත් ගලා විත් ඇති මුදල් ආධාර ද බොහෝය.
 
ටෙක්සාස් නුවර සිදුවූ මෙම ම්‍ලේච්ඡ ඝාතනයෙන් කැසිඩිගේ මව හා පියා වන කේටි හා ස්ටීවන් ද මෙන්ම සොයුරු සොයුරියන් වන බ්‍රයන්, එමිලි, බෙකා හා සැක් මිය ගියෝය. ඝාතනය සම්බන්ධයෙන් තිස්තුන් හැවිරිදි රොනල්ඩ් හැස්කල් වරදකරු විය.
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 27 November 2014 12:39