March 28, 2024

ලොව ධනවත්ම බිලියනපතිනීයන්

November 20, 2014
ලොව දැවැන්තම පුද්ගල දත්ත වාර්තා එකතුවක් සහිත ගවේෂණාත්මක සමාගමක් වන වෙල්ත් එක්ස්  සමාගම සිය වබේ අඩවිය ඔස්සේ පසුගියදා ලොව ධනවත්ම කාන්තාවන් පිරිසක් නිවේදනය කළේය. උතුරු ඇමෙරිකාව, යුරෝපය, පැසිෆික් කලාපය, ලතින් ඇමෙරිකාව, ආසියාව, මැද පෙරදිග හා අප්‍රිකාව යන කලාප හත ආවරණය කරමින් සම්පාදනය කෙරුණු මෙම ලැයිස්තුවේ එන සියලුම කාන්තාවන් බිලියනපතිනියන්ය.
 
කලාපීය වශයෙන් එක් එක් කලාපයේ ධනවත්ම කාන්තාව තෝරා ගැනීමෙන් පසු එකිනෙකාගේ මුළු වත්කම සංසන්දනය කිරීමෙන් සැකසුණු මෙම ලැයිස්තුවට අනුව ලොව ධනවත්ම කාන්තාව වන්නේ ලෝ ප්‍රකට ඇමෙරිකානු සුපිරි වෙළෙඳසල් ජාලයක් වන වෝල්මාට් සමාගමේ සම හිමිකාරිය වන ක්‍රිස්ටි වෝල්ටන්ය. වෝල්මාට් සමාගමේ නිර්මාතෘ සෑම් වෝල්ටන්ගේ පුත්‍රයා වූ ජෝන් ටී. වෝල්ටන්ගේ වැන්දඹු බිරිය වන ඇය උතුරු ඇමෙරිකාවේද ධනවත්ම කාන්තාවයි. ඇගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 37.9ක් ලෙස තක්සේරු කොට තිබේ.
 
තවත් සුවිශේෂී සාමාජිකාවක වන්නේ ධනවත්ම බවලතුන්ගේ ලැයිස්තුවේ ලොව දැවැන්තම රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම වන ල ඔරියල් සමාගමේ හිමිකාරිනිය වන ප්‍රංශයේ ලිලියන් බෙටන්කෝට්ය. වයස අවුරුදු අනූ දෙකක් වන බෙටන්කෝට් ලැයිස්තුවේ සිටින වයස්ගතම බිලියනපතිනියයි. යුරෝපයේද ධනවත්ම කාන්තාව වන ඇගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 31.3කි. ඕස්ට්‍රේලියාවේ දැවැන්ත පතල් ජාලයක හිමිකාරිනියක වන ජිනා රෙයින්හාට්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 14.8කි. ලොව ධනවත්ම වනිතාවන්ගේ ලැයිස්තුවට එකතුවීමට මෙක්සිකෝවේ එකම පවු‍ලේ සහෝදරියන් තිදෙනෙකුද සමත්ව සිටියි. වැනේසා පාවුලා ස්ලිම් හජ්, මාරියා සෞමායා ස්ලිම් ඩි රොමේරෝ හා ජොහානා ස්ලිම් අයුබ් ලොව ධනවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවට ඇතුළු වීමේ වාසනාව ලබා ගත්තේ ලෝ ප්‍රකට ධන කුවේරයෙකු වන ඔවුන්ගේ පියා කාර්ලෝස් ස්ලිම්ගෙන් ලද ධන උරුමයෙනි. ඔවුන් එක් අයෙකුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් 6.3ක් බව ගණන් බලා තිබේ.
 
ලැයිස්තුවට එක්ව සිටින ළාබාලම බිලියනපතිනිය වන චීනයේ තිස්තුන් හැවිරිදි යැන්ග් දුයියාන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර ඒ සා විශාල ධනයකට ඇය හිමිකම් කියන්නේ චීනයේ කන්ට්‍රි ගාර්ඩ්න් ගෲප් නමැති දේපළ සංවර්ධන සමාගමේ හිමිකරු වන ඇගේ පියා නිසාය. පියා විසින් එහි කොටස් 70ක් යැන්ග්ගේ නමට පවරා තිබේ. ලැයිස්තුවට ඇතුළු වන තවත් සාමාජිකාවන් දෙදෙනෙකු වන්නේ ඊශ්‍රායලයේ ෂාරි ඇරිසන් හා නයිජීරියාවේ ෆොලොරන්ෂෝ අලහියාය.
 
ඇරිසන් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ අයිතිකාරිය වන ෂාරිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් වන අතර නයිජීරියාවේද ධනවත්ම කාන්තාව වන විලාසිතා, තෙල් හා මුද්‍රණ කටයුතු සම්බන්ධ ව්‍යාපාර හිමි අලහියාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් ලෙස තක්සේරු කොට ඇත.
 
ලැයිස්තුවේ ඉහත සඳහන් කළ බවලතුන් සියල්ලන්ගේ වත්කම් එක්ව ගත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 114.6කි. වෙල්ත් එක්ස් සංගණනයට අනුව දෙදහස් තුන්සිය විසිපහක් වන ලොව බිලියනපති ජනගහනයෙන් දෙසීය අසූහය දෙනෙකුම කාන්තාවන් වන අතර ප්‍රතිශතයක් ලෙස එය මුළු බිලියනපති ජනගහනයෙන් 12.3කි. එසේම ලොව බිලියනපතියන් සියලු දෙනාගේම වත්කම් එකතුව වන ඇමෙරිකානු ට්‍රිලියන 7.3න් 12.8ක ප්‍රතිශතයකට හිමිකම් කියන්නේද කාන්තා බිලියනපතිනියන්ය.
Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 16:15