April 25, 2024

අයිස් උඩ සංගීතේ

November 20, 2014

සංගීත ප්‍රසංගයක් හරහා ලෝක වාර්තාවක් තැබිමට බ්‍රිතාන්‍යයේ සුප්‍රකට සංගීත කණ්ඩායමක් පසුගියදා සමත්විය. පැය භාගයක කාලයක් මුහුදේ පාවෙන අයිස් පර්වතයන් උඩ සජීවී සංගීත ප්‍රසංගයක් පවත්වා ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ‘ද ඩිෆයිල්ඩ්’ සංගීත කණ්ඩායමයි.


මේසඳහා ද ඩිෆයිල්ඩ්’ තෝරා ගත්තේ ග්‍රීන්ලන්තය අවට සාගරයේ මැද පිහිටි දැවැන්ත අයිස් පර්වතයකි. සාමාජිකයින් සියලු දෙනාම මෙන්ම ඔවුන්ගේ සංගීත භාණ්ඩ සියල්ල දරා ගැනීමට තරම් ශක්තිමත් අයිස් පර්වත වේදිකාවක් සොයා ගැනීම මෙන්ම ඊට ළඟාවීමටත්, වාදන උපකරණ සියල්ල ඒ මතට ගෙන ඒමටත් ද ඩිෆයිල්ඩ් කණ්ඩායමට ලෙහෙසි වූයේ නැත. දින ගණනාවක් සිදු කළ මෙහෙයුමකින් පසුව සොයාගත් දැවැන්ත අයිස් පර්වතයට ළඟාවීමට ගුවන් ගමනකින් පළමුව අයිස්ලන්තයටත් එතැනින් ග්‍රීන්ලන්තයටත් ගිය ‘ද ඩිෆයිල්ඩ්’ කණ්ඩායම අයිස් පර්වතය අසල පිහිටි ‘ටැසිලාක්’ දිවයිනට ළඟාවූයේ බෝට්ටුවෙනි.


අයිස් පර්වතය මතට සිය සංගීත භාණ්ඩ ගොඩබා ගැනීමට ටැසිලාක් වැසියන්ගේ නොමසුරු සහය ඔවුන්ට ලැබි තිබුණු අතර ඊට ස්තූති කිරීමක් ලෙස සංගීත ප්‍රසංගයෙන් පසුව ඒ සඳහා භාවිතා කළ සියලුම වාද්‍ය භාණ්ඩ කට්ටල මැසිලික් වැසියන්ගේ ප්‍රජාශාලාවේ භාවිතය සඳහා පරිත්‍යාග කිරීමට ඩිෆයිල්ඩ් කණ්ඩායම පෙළඹී තිබිණි.


හිම මිදෙන සීත‍ලේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ලැබිමේ මෙම අපූරු අත්දැකීම විස්තර කරමින් ඩිෆයිල්ඩ් සාමාජික ‘ස්ටිම් ඩී’ කියන්නේ පාවෙන අයිස් කුට්ටිවලින් පිරීගිය පරිසරයක අවට සොඳුරු බවින් වශීවී ගිය තම කණ්ඩායමට අවට වූ දැරිය නොහැකි ශීතල නොදැනුණු බවයි. සංදර්ශනය නැරඹීමට ආසන්නතම නගරය වූ ‘කලුසුක්’ හි වැසියන් බෝට්ටුවලින්  පැමිණ සිටි අතර ප්‍රසංගය හෙලිකොප්ටරවල ඇටවූ කැමරා ආධාරයෙන් ඡායාරූප ගත කෙරිණි.

Rate this item
(0 votes)