March 29, 2024

සිතේ මායාවන් කළ වෘක්ෂයන්

November 18, 2014
සිතුම් පැතුම් ඉටු කරන මිථ්‍යා කල්පිත වෘක්ෂයක් වන කල්ප වෘක්ෂය හුදෙක් ඉන්දීය මිථ්‍යා කල්පිත කථා සංග්‍රහයන්ගේ එන කල්පිත වෘක්ෂයක්ම පමණක් නොව අධ්‍යාත්මික වැදගත්කමකින් යුතු වූවකි. දෙවියන් සමග සම්බන්ධකම් දක්වන වෘක්ෂයක් ලෙස සැලකුම් ලබමින් දේවත්වයෙන් පිදුම් ලබන ‘කල්ප’ වෘක්ෂය වෙතින් සිය සිතුම් පැතුම් ඉටු කරගැනීමෙහිලා විශ්වාසය තැබූවන් අතර මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාද වෙයි. සැප සම්පත් ලබාදීමෙහිලා විස්මිත හැකියාවක් කල්ප වෘක්ෂයට ඇති බව ‍පොදුවේ පිළිගැනේ. සිය බලා‍පොරොත්තු ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් මෙබඳු වනස්පතීන්ට වැඳුම් පිදුම් කොට, දොල පිදේනි ලබාදීම ඉන්දීය ජන සමාජයේ ප්‍රකට සම්ප්‍රදායකි. එලෙස වැඳුම් පිදුම් ලබන කල්ප වෘක්ෂ ගණයෙහිලා සැලකෙන ගස් රැසක් ඉන්දියාවේ වෙයි.
 
සදාකාලික නුගරුක
නුග යනු මිහිමත සැබෑවටම දැකිය හැකි ගස් වර්ගයක් වුවද එහි මායාකාරී බලයක් ඇති බැව් කියැවෙන ජනප්‍රවාදයන් නිසා මුල්බැස ගත් මිථ්‍යා කල්පිත විශ්වාසයන් අදටද දැකගත හැක. එබඳු එක් විශ්වාසයක් වන්නේ නුග ගස්වල මුල් කිසිදා වර්ධනය වී අවසන් වන්නේ නැති බවය. දිගින් දිගටම පස තුළටමත්,‍පොළවේ මැදටත් අඛණ්ඩව වර්ධනය වන නුග මුල් සදාකාලික වෘක්ෂයක් වෙතට ගමන් කරන බවත්, ගස කඳින් වෙන් කළත් කිසිදා නොමැරෙන මුල් ආධාරයෙන් යළිත් පෙර පැවැති ආකාරයටම අතුපතර විහිදා වර්ධනය වන බවටත් විශ්වාසයක් වේ.
 
නාරිෆොන්
තායිලන්ත ජනප්‍රවාදයන් අතර හමුවන ඉතාම පුදුමාකාර මිථ්‍යා ප්‍රබන්ධයක් ලෙස ‘නාරිෆොන්’ නැතහොත් පලතුරු කාන්තාවන් පිළිබඳ කතාව හැඳින්විය හැක. අතීතයේ විසූ කුමාරයෙකුගේ බිරිය කිසියම් හේතුවක් නිසා ‘හිම්වන්ති’ වනයට නෙරපා හැර ඇති අතර වනයේදී ඇයට ආරක්ෂාව සලසා ඇත්තේ කාන්තා සිරුරක හැඩයෙන් යුතු ‘නාරිෆොන්’ නමැති පලතුරු විශේෂයක් හටගත් ගසකි.මෙම පලතුරු පිරිමින්ට ඉතා අන්තරාකාරී වූ බව කියැවේ.
 
යැග්ඩ්‍රසිල්
නෝර්වේ ජනප්‍රවාදයන්ට අනුව ජීවනයේ වෘක්ෂය ලෙස සැලකෙන ‘යැග්ඩ්‍රසිල්’ හා ‘ඕඩින්’ නමැති දෙවියන් (ජර්මානු මිථ්‍යා කතා සංග්‍රහයන්හි හමුවන දෙවි කෙනෙකි) අතර ඇත්තේ සමීප සම්බන්ධයකි. එවැනි එක් ජනප්‍රවාදයකට අනුව නිම්හිම් නොමැති බුද්ධිය සොයා ගිය ගමනේදී ‘යැග්ඩ්‍රසිල්’ නමැති ගසක් හමුවන ‘ඕඩින්’ අවසානයේදී දින නවයක් හා රාත්‍රී නවයක් එම ගසේ එල්ලී ගත කරන්නේය. එම දුෂ්කර ක්‍රියාදාමය අවසානයේදී ඕඩින්ට තමන් එතෙක් කලක් සොයා ගිය බුද්ධිය ලබා ගැනීමට හැකිවූ බව ජනප්‍රවාදයේ කියැවෙයි.
කෙසේ වුවද ඇතැම් මිථ්‍යා කල්පිත ප්‍රබන්ධයන්ට අනුව ‘යැග්ඩ්‍රසිල්’ ඕඩින්ට බුද්ධිය අවබෝධ කරවූ ගසකට වඩා ඔබ්බට යන්නකි. ‘යැග්ඩ්‍රසිල්’ මගින් නියෝජනය කරන්නේ ස්වර්ගය බවත්, එහි මුදුනේ සිටින රාජාලියාගෙන් ඕඩින්ගේ සම්බන්ධය කියැවෙන බවත්, ගස පාමුල දැක්වෙන සර්පයාගෙන් අපාය නිරූපණය කෙරෙන බවටත් පිළිගැනීමක් වෙයි.
 
ජින්මෙන්ජු
‘ජින්මෙන්ජු’ නමැති මිථ්‍යාකල්පිත වෘක්ෂය හමුවන්නේ ජපාන මිථ්‍යා කතාවලිනි. මෙම ගස්වල වැඩෙන පලතුරු සතුව ඇත්තේ මිනිස් මුහුණු වන අතර, මිනිසුන් ඒවා අසලින් ගමන් කරන විට මහ හඩින් බියකරු ලෙස සිනහා වෙන මෙම පලතුරු මුහුණු දකින ඕනෑම අයෙකු බියෙන් මුසපත් වනවා නිසැකයි. ජපානයේ ඈත කඳුකර පෙදෙස්වල වැඩෙන බව කියන ජින්මෙන්ජු ගස්වල හටගන්නා මෙම පලතුරු බියකරු ලෙස සිනාසීම හැරුණුකොට මිනිසාට අනතුරක් නොකරයි. ප්‍රනීත දොඩම් රසයෙන් යුතු ජින්මෙන්ජු ගෙඩියක් නෙළා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ගස අසලට ගොස් සිනාසීමය. එවිට ගෙඩි සෙලවී නටුවෙන් ගිලිහී වැටෙන බව කියැවෙයි.
 
ඩොඩෝනාහි කොඳුරන ඕක් ගස
ග්‍රීක මිථ්‍යා කතාවලින් හමුවන ඩොඩෝනාහි කොඳුරන ඕක් ගස අනාගතය පිළිබඳ අනාවැකි කීමට සමත්කම් දැක්වූවකි. මිනිසුන් මෙන් කතා කිරීමට නොහැකි වුවත්, සුළඟට එහි අතු හා කොළ සෙලවීමෙන් ඇතිවූ කෙඳිරුම් හඬක් ආධාරයෙන් මෙම අනාවැකි පැවැසීම සිදුවූ බව කියැවේ. ‘ආර්ගෝනෝට්හිදී’ ජේසන් කුමරු හා ‘ඉලියඩ්’ වීර කාව්‍යයේ හමුවන චරිතයක් වන ‘ඇචිලස්’ ඩොඩොනා ගසෙන් උපදෙස් ලබා ගත් අය බව කියැවේ.
 
අහස උසටනැගුණු ගස
අහස විනිවිද යමින් දෙව්ලොව දක්වා වැඩෙන මිථ්‍යා කල්පිත ගසක් පිළිබඳ කතා හංගේරියාවේ මෙන්ම සර්බියාවේ ජනප්‍රවාද අතරද දැකගත හැක. හංගේරියානු ජනප්‍රවාදයන්ට අනුව එබඳු අහස උසට වැඩුණු ගසක් දිගේ ඉහළටම නැගුණු ගොපලු දරුවෙකුට ජීවිතයේ කිසිදිනක නොදුටු අන්දමේ අතිශය සුන්දර දේවස්ථාන, බළකොටු හා භූමිදර්ශන දැක ගැනීමට හැකිව තිබේ. කෙසේ වුවද සයිබිරියානු මිථ්‍යා කථා සංග්‍රහයන්ට අනුව එලෙස අහස උසට නැගුණු ගස මගින් අහස ඔසවා තැබෙන බවත්, එය දෙව්ලොවට ඇතුළු වීමේ ප්‍රවේශ මාර්ගයක් ලෙස ක්‍රියා කරන බවත් කියැවේ.
 
නෙළුම් ගස
නෙළුම් මල යනු සැබෑවටම පවතින්නක් වුවත් නෙළුම් ගස හමුවන්නේ මිථ්‍යා ප්‍රබන්ධවලය.  ඒ අතරින් වඩාත්ම ප්‍රකට ජනප්‍රවාද හමුවන්නේ ග්‍රීක මිථ්‍යා කථා ඉතිහාසයෙනි. එබඳු එක් කතාවකට අනුව ගසක් බවට හැරී ඇත්තේ ‘නෙළුම්’ නමැති දිව්‍යාංගනාවකි. ඇයට අනිසි බලපෑම් කිරීමට පැමිණි ‘ප්‍රියාපස්’ නමැති දෙවි කෙනකුගෙන් ගැලවීමට ඇය මෙලෙස ගසක් බවට හැරී තිබේ. සුප්‍රකට ග්‍රීකයෙකු වන හෝමර් විසින් රචිත ‘ඔඩිසියස්’ වීර කාව්‍යයේදී ඔඩිසියස් ඇතුළු ඔහුගේ පිරිස ‘නෙළුම් ආහාරයට ගන්නන්ගේ දේශයට’ පැමිණෙන අතර, එහි වැඩෙන නෙළුම් ගෙඩි කෑමට ගන්නා ඔඩිසියස්ගේ සහචරයන්ට තමන් පිළිබඳ වැදගත් වන හැම දෙයක්ම පාහේ අමතක වෙයි. ජීවිත අරමුණක් නොමැතිව නිකරුණේ ජීවත් වන්නන් හැඳින්වීමට අද ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේදී භාවිත කෙරෙන ‘ඹ්ධබභඵ ඥචබඥපඵ’  යන යෙදුම බිහිවී ඇත්තේද ඔඩිසියස් වීර කාව්‍යයේ එන නෙළුම් ගස් ඇසුරිණි.
දෙව්ලොව දෙවියන්ගේ දකුණු පසෙහි නෙළුම් ගසක් ඇති බවද කියැවෙයි.
 
ජුබොක්කෝ
ජපාන ජනප්‍රවාදයන්වලින් හමුවන ජුබොක්කෝ යනු අතිශය බියකරු, මිනීමරු ගසකි. ‍ලේ උරා බොන වැම්පරයන්ට සමාන කෙරෙන ජුබොක්කෝ ගස් තමන් අසලින් ගමන් කරන ඕනෑම අයෙකු තම දිගු අතු රිකිලිවලින් දැඩිව අල්ලාගෙන, ගොදුරු කරගැනීමට පසුබට නොවන බව කියැවෙයි. මෙබඳු ගස් පාමුල මිනිස් ඇටකටු සමූහ වශයෙන් දැක ගැනීමට ලැබෙන බවද කියැවේ. මුල් කාලයේදී සාමාන්‍ය ගස්විශේෂයක් වූ ජුබොක්කු එබඳු ම්‍ලේච්ඡ තත්ත්වයට පත්වූයේ දිනක් ඔවුන් විසූ ප්‍රදේශය ලෙයින් තෙත් කළ සිදුවීමක් නිසා බව ජනප්‍රවාදයේ කියැවෙයි. තම මුල්වලින් ‍ලේ උරා ගැනීමෙන් පසු එම රසයෙන් මත්වූ ජුබොක්කු ගස් එතැන් සිට මිනීමැරීමට පෙළඹුණු බව ජපාන ජනප්‍රවාදවල කියැවේ.
Rate this item
(0 votes)