April 25, 2024

තාත්තයි, පුතයි කර්මාන්ත ශාලාවේ අභිරහස් ලෙස මිය යයි (PHOTOS)

අක්මිමන බටදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක යන්ත්‍රෝපකරණ සිසිල් කිරිම සදහා ඉදිකොට ඇති භූගත ජල ටැංකියකට ඇද වැටිමෙන් මියගිය පිය පුතු දෙදෙනාගේ හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙකි කම්හලේ ප්‍රධාන මෙහෙයුම් කළමණාකරු වන රණේපුර හේවගේ චමින්ද ලක්මාල් ධර්මරත්න නැමැත්තා මෙසේ සඳහන් කළා.

"ටැංකිය මැදට වන්නට සෙනාල්ගේ පුතාගේ හිස යම්තමට පේන්න තිබුනා. පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. පසුව සෙනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුලේ තිබි ගොඩඩ ගත්තා"

භූගත ජල ටැංකියට ඇදවැටි දියේ ගිලිමෙන් මියගොස් ඇත්තේ හවුපේගෙවත්ත තල්ගම්පල ගාල්ල ලිපිනයේ පදිංචිව සිටි මෙම කම්හලේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු වන උඩුබැට්ටව වැදිගේ සෙනාල් දිනුෂ ගුණසේන සහ ඔහුගේ පුතා වන සිතුක විහස් ගුණසේන නැමති දරුවෙක්.

මියගිය සිතුක විහත් ගුණසේන පුතුගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදු කළ අතර පියා වන සෙනාල් දිනුෂ ගුණසේන නැමැත්තාගේ හදිසි මරණ පරික්ෂණය බටදුව හදිසි මරණ පරික්ෂක එස්.එන්.විතානගේ මහත්මිය විසින් සිදු කරනු ලැබු බව වාර්තා වෙනවා.

හදිසි මරණ පරික්ෂණයේ දි තවදුරටත් සාක්ෂි දෙමින් ප්‍රධාන මෙහෙයුම් කළමණාකාරවරයා මෙසේද සඳහන් කළා.

"මියගොස් සිටින්නේ මා වැඩ කරන ආයතනයේ සේවය කරන විධායක නිලධාරියකු වන සෙනාල් හා ඔහුගේ පුතා. මා මෙම ආයතනයට ඇවිත් වසර 11ක් වෙනවා. මා එනකොටත් සෙනාල් මෙම ආයතනයේ සේවය කළා. අප්‍රේල් 08 වැනිදා සිට 18 වැනි දින දක්වා ආයතනයේ සේවක සේවිකාවන්ට නිවාඩු දිලා තිබුණේ. විධයක ශ්‍රේණියේ නිලධාරින්ට පවරලා තිබුනා දිනකට දෙදෙනා බැගින් කම්හලට පැමිණ පරික්ෂා කොට බලා වාර්තාවක් දෙන්න. ඒ අනුව සෙනාල්ට හා ප්‍රභාත්ට මෙදින මෙම රාජකාරිය පැවරිලා තිබුනා. සෙනාල් පුතාට කර්මාන්තශාලව පෙන්විමට පුතා සමග ඇවිත් තියෙනවා.

සාමාන්‍යයෙන් පොඩි ළමුන්ට කාර්මාන්තශාලව ඇතුලට යන්න දෙන්නේ නැහැ. නිවාඩු දිනයක් නිසා සහ සෙනාල් විධායක ශ්‍රේණියේ නිලධාරියකු නිසා එම අවස්ථාව සෙනාල්ට ආරක්ෂක අංශ මගින් ලබා දි තිබුනා. එදින උදෑසන 10.25ට තමයි සෙනාල් පුතා සමග කම්හල ඇතුලට ගිහින් තිබුණේ. නිවාඩු දිනයක් වුවත් වැඩ කරන අයට අවුරුදු තෑගි දිලා යන්න කම්හල තුලට ආවා. ආරක්ෂක අංශයෙන් මට කිවා සෙනාල් මහත්තයා පුතා සමග කම්හල ඇතුලතට ගියා තවම ආවේ නැහැ කියලා. මා ආයතනයට එනවිට 11.30ට විතර වුනා. මා ආරක්ෂක අංශයට කිවා සෙනාල්ට දුරකථන ඇමතුමක් ගන්න කියලා. දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුණේ. මා ආරක්ෂක අංශයේ අයෙකු සමග කම්හලේ ඇතුලත රවුමක් ඇවිදලා බැලුවා. නමුත් සෙනාල් හමුවුනේ නැහැ. මා ආරක්ෂක අංශයේ අයට කිවා. සෙනාල් ආපසු මට දුරකථන  ඇමතුමක් ලබා දෙන්න කියලා. මා කම්හලේ අනිකුත් අංශවලට ගියා. මට දුරකථන ඇමතුමක් ආවා මිල් ටැංකියෙන් හිසක් පෙනවා කියලා. මා  එම අවස්ථාවේම කම්හලට ආවා.  ටැංකිය මැදට වන්නට සෙනාල්ගේ පුතාගේ හිස යම්තමට පෙන්න තිබුනා මා ආරක්ෂක අංශයේ අයෙකු සමග එක්වි බෙල්ට් එකක් දමා ටැංකියේ අයිනට පුතාව ගත්තා.පසුව  පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. මගේ වාහනයෙන් පුතා කරාපිටිය රෝහලට රැගෙන ගියා. ආරක්ෂක අංශයේ අයෙකු රෝහලේ නතර කරලා මා ඉක්මන්ට කම්හලට ගියා. සෙනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුලේ තිබි ගොඩ අරගෙන තිබුනා."

මියගිය  සේනාල් දිනුෂගේ බිරිද වන හවුපේ විතානගේ නයෝමි සමන් කුමාරි තම දෙවන දරු ප්‍රසුතිය සදහා සුදානමින් සිටි ගැබිනියක්.

ඇය හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

"මා යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් ලෙස සේවය කරනවා. මියගොස්  සිටින්නේ මගේ  පුතා හා සැමියා. සැමියා ඩි.එස්.අයි ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කරනවා. පුතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. තුන වසරට සමත්වෙලා හිටියේ. පුතා සැමියා සහ මම තමයි ගෙදර පදිංචි වෙලා හිටියේ. මහත්තයා වසර 15ක පමණ සිට මෙම ආයතනයේ වැඩ කරනවා. මහත්තයා උදේට රැකියාවට ගොස් හවසට ගෙදර එනවා. මේ දිනවල මෙම ආයතනයේ සේවකයින්ට නිවාඩු ලබා දි තිබුනා. මහත්තයාට රාජකාරි දිනයක් නොවුවත් නිවාඩු කාලයේ එක් දිනකට දෙදෙනෙකු ආයතනයට පැමිණ ආයතනය පරික්ෂා කොට වාර්තාවක් ලබා දිමට පැවරිලා තිබුනා. ඒ අනුව මහත්තයා පුතා සමග මෙම ආයතනයට ගියා.

වැඩ කරන දිනයක් නොවු නිසා කර්මාන්තශාලාව පෙන්විම සදහා පුතා රැගෙන ගියා. යතුරුපැදියෙන් තමයි මහත්තයා පුතා සමග ගියේ. එදින දහවල් 12.00ට විතර මහත්තයාගේ මිතුරෙකු මගෙන් දුරකථන ඇමතුමක් ලබා දිලා ඇසුවා මහත්තයාට කරදරයක් ද කියලා. මා කිවා දන්නේ නැහැ කියලා. ඊට පසු මහත්තයාගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ගත්තා. ජංගම දුරකථනය වැඩ කළේ නැහැ. පසුව මා මහත්තයාගේ මිතුරන්ට කථා කරලා ඇසුවා. ඒ අය දන්නේ නැහැ කිවා. පසුව මා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් සමග කරාපිටිය රෝහලට ගියා. මෙම ආයතනයේ වැඩකරන අය රෝහලේ සිටියා. මහත්තයා හා පුතා වතුර ටැංකියක වැටි මියගොස් ඇති බව දැනගත්තා."

පශ්චාත් මරණ පරික්ෂණ  සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.කේ ඩයස් මහතා විසින් සිදු කර තිබෙනවා.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂකවරයා දියේ ගිලිමෙන් මරණ වි ඇති බවට තින්දු කරනු ලැබ තිබෙනවා.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)