April 25, 2024

"මහරජාණෙනි" ගැන සහේලි දැන් කියන කතාව

වත්මන් පාලනයට එරෙහිව විරෝධය පළකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලය අද (14) පැවැත්වෙන්නේ හයවන දිනටයි.

විරෝධතාවයට සහාය පළකිරීම සඳහා මෙරට විවිධ ක්ෂේත්‍රවල නියැලෙන විශිෂ්ඨ පුද්ගලයින් විවිධ අවස්ථාවල දී විරෝධතා භූමියට පසුගිය දින කිහිපය තුළම පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.

මේ අරගලයත් සමඟ බොහෝ දෙනෙකුගේ නම් කියවෙනවා.

ඒ අතර කියවුන තවත් නමක් තමයි සහේලි ගමගේ කියන්නේ. 

සහේලි ගමගේ හැමෝම අතර ජනප්‍රිය වූයේ "ආයුබෝ වේවා මහරජාණෙනි" ගීතයෙන්.

පසුගිය කාලයේ සහේලිගේ රසික රසිකාවියන්ට නම් දැණුනේ ඇය තරමක නිහඬබවකින් සිටින බවයි.

‘‘ආයුබෝවේවා‘‘ ගීතය ගැයීම පිළිබඳ තමන් අද පසුතැවෙන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සමාව අයදින බවත් පවසමින් යොවුන් ගායිකා සහේලි ගමගේ තමන්ගේ මූනු පොතේ තැබූ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරනය වෙනවා.

මේ සටහන මගින් ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති වී ඇති ජන අරගලයටද තමන් ඉතසිතින් සහය දක්වන බව ඇය පවසා ඇති අතර තමන් දිවයිනෙන් බැහැර සිටියත් මාතෘභූමියේ අභිවෘද්ධිය සඳහා කරන ඕනෑම ජන අරගලයකට නොබියවම සහ දෙන බවද පවසා තිබෙනවා.

සහේලි ගමගේ සිය මුහුණුපොතට සටහනක් එක් කර තිබුනේ මෙලෙසයි,

'ආයුබෝවේවා' ගීතය ගැන ඔබ නොදන්නා කෙටි සටහනක් තැබීමට සුදුසුම අවස්ථාව දැන් බව මට හැඟේ.

තිස් අවුරුදු යුද්ධයෙන් හෙම්බත්ව පීඩිතව තිබූ අප රට එයින් මුදාගැනීම නිසා උද්දාමයට පත්වූ සුව හසක් ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම ගීතයකින් එළිදැක්වීමේ උතුම් අරමුණට මගේ හඬ දායක කිරීම රට වෙනුවෙන් කළහැකි යුතුකමක් ලෙස මා සැලකුවෙමි. මෙම ගීතය කිසිදු දේශපාලන පක්ශයක මදිහත්වීමකින් තොරව, මා සහ මාගේ දෙමාපියන්ගේ අදහසකින්, ස්ව මූල්‍යමය දායකත්වයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොපතා නිර්මල චේතනාවකින් නිර්මාණය කරන ලද්දකි.

මේ ගීතය නිසා එවකට යොවුන් තරුණියක් ලෙස මා ලද උපහාස, අපහාස නිමක් නැත. අදටත් එය එසේමයි. මාගේ මාතෘභූමියට මා අසීමිත ලෙස ආදරය කළත්, අද මා විදේශ ගතව ජීවත් වන්නේත්, මගේ රට වෙනුවෙන් ගායිකවක් සහ වෛද්‍යවරියක් ලෙස කළහැකි කලයුතු මෙහෙවර බොහෝ දුරකට මගෙන් අත් හැරුණෙත්, මේ ගීතය නිසයි. එය අදටත් මට දරාගත නොහැකි වේදනාවක්. තවද බොහොමයක් ඔබ දන්නා 'ආයුබෝවේවා' ගීතයට සමගාමීව, මා විසින් කුරිරු යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සමරමින් 'සත්‍යය ඔබයි' ගීතය එලිදැක්වුවද, නොසිතූ ලෙස 'ආයුබොවේවා' ගීතය එය අභිබවා ජනගත වීම, මා දේශපලන ගැත්තෙකු සේ හංවඩු ගැසීමට හේතුවක් වුණ බව මාගේ අදහසයි.

කෙසේ වෙතත්, 'අයුබෝවේවා' ගීතය වෙනුවෙන් සියලුම මුදල් Mobitel සහ Dialog 'RingIN Tone’ ඔස්සේ ලැබුනු අතර, එම සියලුම මුදල් යුද්ධයෙන් ආබාදිතවූ වීරෝධාර රණවිරුවන් උදෙසා ඉදිකෙරුණු අභිමංසල ව්‍යාපෘතියටත්, රණවිරු නිවාස ඉදිකිරීමටත්, අනෙකුත් විවිධ රණවිරු සුභසාධක කටයුතු සහ පිළිකා රෝගීන්ගේ සුභසාධනය සඳහාත් යෙදවීමට මට භාග්‍යය ලැබුණා. අවසානයේ මාහට ඉතිරි වූයේ එම පරිත්‍යාගශීලී සතුට පමණයි.

අද වනවිට අපේ මාතෘ භූමිය පත්වී ඇති අවාසනාවන්ත තත්වයට මා ගැයූ 'ආයුබෝවේවා' ගීතය කිසියම් අයුරකින් හෝ හේතුසාධකයක් වූවානම් මම මාගේ රට වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. එපමණක් නොව, මෙය හුදෙක් කාලාණුරූපිතව ගැයූ ගීතයක් පමනක් වන අතර මෙම ගීතය ගායනා කිරීම පිලිබඳ මා තුල ඇත්තේ ඉමහත් පසුතැවීමකි. මා දිවයිනෙන් බැහැරව සිටියත් ශ්‍රී ලාංකික ඔබ සැමගේ මෙම අභීත ජන අරගලයට මා ඉතිසිතින්ම දායක වෙමි. අදත් හෙටත් මාගේ මාතෘ භූමියේ අභිවෘද්ධිය සඳහා කරන ඕනෑම ජන අරගලයකට මා නොබියව දායක වෙමි.

මාගේ මාතෘ භූමිය දිනේවා!
ඔබ සැමට ජයෙන් ජයම වේවා!
ලැබුවාවූ මෙම අලුත් අවුරුද්ද ඔබ හැමගේම සිතුම් පැතුම් ඉටුවන, සතුටින් පිරි වාසනාවන්ත යුගයක ඇරඹුමම වේවා!

- සහේළී ගමගේ

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 April 2022 20:34