April 19, 2024

බිරිඳ වෙනුවෙන් උපකාර අයදින සැමියා (PHOTOS)

දෑස් නොපෙනෙන වකුගඩු රෝගී බිරිඳ ජීවත් කරවීම සඳහා සමාජයෙන් උදව් ඉල්ලන අපූරු  සැමියෙකු පිළිබඳ පුවතක් දඹුල්ල කිතුල්හිටියාව ප්‍රදේශයෙන් ඒෂියන් මිරර් අපට වාර්තා වෙනවා.

අතීතයේ ආදරයෙන් බැඳුනු මෙම යුවල අදට ද අපිරිමිත ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් ආදරය උතුරා යන සෙනෙහසින්  ජීවත්වන බව ප්‍රදේශවාසීහු පවසනවා.

මෙසේ අපරිමිත ආදරයකින් වෙලුන එස්.ඒ.කේ.වික්‍රමරත්න මහතා තම ආදරණීය බිරිඳ වන ශ්‍රීයා නිල්මිණී තිලක තම ඇස් දෙක මෙන් රැක බලා ගැනීම සිදු කරන්නේ ඇයගේ දෑස් නොපෙනී යාම නිසාවෙන්.

දෑස් නොපෙනුණු ඇයට තවත් බෝනොවන වකුගඩු රෝගය වැලදී වකුගඩු දෙකම අක්‍රීය වීමේ තත්ත්වයට පත්ව තිබෙනවා.

දියවැඩියා රෝගය නිසාවෙන් දෑස් නොපෙනුණු  නිල්මිණී තිලක මහත්මියගේ වකුගඩු රෝගය නිසා බෙල්ල ප්‍රදේශයෙන් ලේ මාරු කිරීමේ කර්තව්‍යය දවසක් ඇර දවසක් දඹුල්ල මූලික රෝහලෙන් සිදුකරන බව වීක්‍රමරත්න සැමියා අප සමඟ පැවසුවා.

බෙල්ලෙ සැකත්කමකින් ලේ මාරු කිරීමට අපහසු නිසා දඹුල්ල රෝහලේ වකුගඩු අංශයෙන් උපදෙස් ලබාදී ඇත්තේ මහ මහනුවර මහර රෝහලට ගොස් ලේ මාරු කරන බටය අතකට බද්ධ කිරීම සිදු කළහොත් ලේ මාරු කිරීමේ කටයුතු සිදු කළ හැකි බවයි.

කිසිදු ආදායමක් නොමැතිව තම ආදරණීය පුතු එවන මුදලින් කුස පුරවා ගන්නා මෙම ආදරණීය යුවල සමාජයෙන් ඉල්ලා සිටින්නේ දවසක් ඇර දවසක් ලේ මාරු කර ගැනීම සඳහා යන වියදම මෙන්ම මේ වන විට පත්ව ඇති ඖෂධ හිගය නිසා ඖෂධ ලබා ගැනීමට කාගේ හෝ උදව් උපකාරයක් අවැසි බවයි.

දෑස් නොපෙනෙන ආදරණීය බිරිඳ රැක බලා ගැනීම සඳහා මෙම සැමියා පුදුමාකාර වෙහෙසක් දරනු ලබනවා.

ඇයගේ සියලු ඕනෑ එපාකම් ඉටුකරදීම මෙම සැමියා විසින් සිදු කරනු ලබන්නේ පුදුමාකාර කරුණාවකින් බව එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණා.

තම සැමියා විඳින දුක් දැක දෑස් නොපෙනෙන ශ්‍රියා නිල්මිණී හඬා වැටෙමින් කියා සිටියේ තමාගේ මරණය කඩිනම් වුවහොත් සැමියාට සහනයක් වන බවයි.

මෙම ආදරණීය යුවල ආදරෙයෙන් වෙලුනු අතීතය මතක් කර දෙමින් කියා සිටියේ එදා සිට අද දක්වා ඒ ආදරය කිසිදු අඩුවක් නොමැති බවය සැමියා තමන්ගේ සියලු වැඩ කරන ආකාරයට බැරිද හඬා වැටෙද්දී සැමියාද හඬා වැටී ඇයව සනසවනවා.

"නෝනා" සහ "මහත්තයා" යන වචනවලින් දෙදෙනා ආමන්ත්‍රණය කරන අතර මෙම බිරිඳට අත්වැල් වැටවල් බැඳ වැසිකිළි කැසිකිළි සිදු කරන ඒවාද පුටු කැබලි කපා සිදු කරනු ලබන්නේ දියවැඩියාව උග්‍ර වීම හේතුවෙන් ඇයගේ එක් පාදයක ඇඟිලි ඉවත් කර තිබීම නිසාවෙන්.

නිසියාකාර වැසිකිළි කැසිකිළි පහසුකමක් නොමැති වීම හේතුවෙන් තම බිරිඳ පුටුවක් කපා ඒ මත වැසිකිළි කැසිකිළි කිරීමෙන් පසුව ඒවා පිරිසිදු කිරීම් ආදී සියල්ල සිදු කොට ආහාර පිස, කවා පොවා, රෙදි සෝදා ඇයව නහවා පිරිසිදු කිරීම් සිදු කරනු ලබන්නේ ද වික්‍රමරත්න සැමියා විසින්.

මෙම යුවල මුළු මහත් සමාජයටම මෙන්ම බිරින්දෑවරුන්ට සැමියාවරුන්ට ආදර්ශයක්.

එම නිවසේ ආදරය දෝරෙ ගලා යනු ලබන්නේ අසනීප තත්ත්වය නිසා වෙන් නොවන බව මෙම යුවළ කියයි.

එදා බැඳුණු ආදරය අදටත් ඔවුන්  දෙදෙනා ලඟ රැඳී තිබීම සුවිශේෂී වූ සිද්ධියක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 April 2022 19:55