April 25, 2024

දෙපා වාරු නැති වුවත් ජීවිත ගමන සාර්ථකව යන සුසන්ත

ජීවිතයේ අභියෝග හමුවේ අතපය හතර හයි හත්තිය ඇති පිරිස් පවා අසීරුතාවයකට පත්ව ඇති මොහොතක අතපය වාරු නැතිව ආබාධිත සහිත අයෙකු ජීවිතය ජය ගන්නා පුද්ගලයකු ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයෙන් අපට හමු වුණා.

ඒ 47 වියේ පසුවන එච්.එම්.පි.ජී. සුසන්ත හේරත්.

ඔහු අවිවාහකක්.

සුසන්ත තමන්ගේ ආබාධිත බවින් අනුකම්පාවක් අයදීමකින් තොරව වඩු වැඩ කරමින් තම ජීවිතය සරිකර කර ගන්නා අතර පවුලේ   සහෝදර සහෝදරියන්ට ද උදව් උපකාර කරමින් සිටිනවා.

කිසිදු හැඩයක් නැති දැව ඔප දමමින්   ආබාධිත අත් පා මෙහෙයවමින් ඔහු ජනෙල්, උලුවහු, ඇඳ, පුටු, මේස ආදී නොයෙකුත් දෑ නිපදවීම් සිදුකරමින් සිටිනවා.

තම මව සහ පියා මෙලොව හැර ගියද,  සහෝදරයෙකුගේ උදව් උපකාර ඇතිව වඩු මඩුවක් පවත්වාගෙන යන සුසන්ත මුළු මහත් රටටම ආදර්ශයක් සපයන පුද්ගලයෙක්.

සුසන්ත ගමන් බිමන් යෑම සඳහා ඔහුටම   ආවේණික කුඩා කරත්තයක් නිපදවා ගෙන තිබෙනවා.

ඔහු එම කරත්තයේ නැග එක් පාදයකට සෙරෙප්පු කැබැල්ලක් උපයෝගී කරගෙන එහි පොළොවට බර දෙමින් තමන්ට අවශ්‍ය ගමන් බිමන් යන බව ඔහු සඳහන් කළා.

මාර්ග වල තම රථයෙන් යද්දි නොදන්නා බොහෝ දෙනා තමන්ට විවිධ ආකාරයෙන් උදව් කිරීමට මුදල් ලබා දීමට ඉදිරිපත් වන්නේ තමන් යදින අයකු බව සිතාගෙන යැයි ද ඔහු සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 20:48