April 20, 2024

ඩොලර් ගේන අමුතු “පින්තූ” (PHOTOS)

පාවිච්චියෙන් ඉවතලන ‍ද්‍රව්‍ය උපයෝගී කරගෙන විදේශ රටවල සිටින සංචාරකයන් මෙරටට ගෙන්වා ඩොලර් උපයන අමුතුම සංචාරක සත්කාර කරන තරුණයෙකු සීගිරියේ ඒෂියන් මිරර් අපට හමු වුණා.

දිනකට විදේශික සංචාරකයන් 150කට අධික පිරිසකට සේවා සපයන මෙම තරුණ ව්‍යවසායකයා මෙරට සංචාරක ප්‍රවර්ධනයට විශාල දායකත්වයක් දක්වනවා.

සීගිරිය ප්‍රදේශ්යේ රස්තුරන් (Rastarant) යන නාමයෙන් සංචාරක පහසුකම්   සැපයීමේ නිකේතනයක් පවත්වාගෙන යන ඔහු නමින් සුමුදු සමන් පියරත්න.

විදේශීය රටවල් බොහෝ දෙනෙක් ඔහු හඳුනා ගන්නේ "පින්තූ"යන නමින්.

එම නාමය ද විදේශිකයකු විසින් මීට පෙර හබරණ ප්‍රදේශ්යේ දී තැබූ අන්වර්ථ නාමයක් බව සුමුදු සමන් පියරත්න අප සමග පැවසුවා.

සවස යාමයේ පින්තූ පවත්වාගෙන යන මෙම විදේශිකයන්ට ආහාර පාන සපයන ස්ථානයට අප ගියා.

එහිදී දිනපතා ජනතාව ඉවත් කරන බොහෝ දෑ උපයෝගී කරගෙන මෙම ස්ථානය නිර්මාණය කොට තිබීම දැකගත හැකි වුණා.

මෙම ස්ථානයේ සිට ලෝකයේ රටවල් වලට ඇති දුර සහ දිශාවන් දක්වන රූපරාමු මෙම ස්ථානයට ඇතුළු වන සෑම සංචාරකයින්ගේම ආකර්ෂණය දිනා ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම ඉවතලන ටයර්, ලෑලි කැබලි, දොර කැබලි, මුල් කෑලි, කිරි හට්ටි, ජෑම් බෝතල් උපයෝගී කරගෙන මෙහි සෑම පහසුකමක්‌ම සපයා දීමට කටයුතු කර තිබෙනවා.

මෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන විදේශිකයන් හට විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා මෙන්ම විනෝද වීම සඳහාද මෙහි පහසුකම් සපයා දීමට පින්තු   කටයුතු කොට තිබෙනවා.

එමෙන්ම දර ලිප් වල ආහාර පිස ලෑලි කැබලි මත ආහාර පිළිගැන්වීමට පතෝල කරල් උපයෝගී කරගෙන එම ආහාර සඳහා ආලෝකය ලබා දීම ආදී සියුම් ස්ථාන පින්තූ හඳුනා ගෙන සංචාරකයන් සතුටු කරවීම ද දැකගැනීමට හැකි වුණා.

2002 වසරේ දී සංචාරක කර්මාන්තයට පිවිසි පින්තූ මේ වන විට රටවල් 14 ක පමණ සංචාරය කොට අත්දැකීම් ලබා ගෙන තිබෙනවා.

විදේශිකයාගේ සරල බවට පහසුකම් සපයා මෙරටට ඩොලර් ගෙන්වා ගැනීම ඔහු විසින් සිදු කරන අතර මෙම ස්ථානයේ සේවය කිරීම සඳහා ද ප්‍රදේශයේ තරුණයනයන් රැසක් ඉදිරිපත්ව සිටීම විශේෂත්වයක්.

මෙම ස්ථානයේ සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් එකිනෙකාට හඳුන්වාදීම් සහ ඔවුන් ඔවුන් විසින් හඳුනාගෙන මිතුරන් බවට පත් කිරීම මෙම ස්ථානයේ තවත් අරමුණක් බව පින්තූ අප සමග සඳහන් කළා.

විදේශිකයන්ට පහසුකම් සපයා දී ආකර්ෂණය දිනාගෙන සංචාරක ප්‍රවර්ධනයක් සිදු කරන මෙවැනි තරුණයන් සමාජයේ මෙන්ම සංචාරක අමාත්‍යංශයේ ද ඇගයීමට ලක් විය යුතු නොවේදැයි එහි ගිය අපට පසක් වූ කරුණකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 22:47