March 29, 2024

දෙමව්පියන්ට කන්න දෙන්න කොස් කඩන අවුරුදු 9 පුංචි පුතා

මව පියා හා රෝගී දරුවන් හය දෙනකු සිටින 6 දෙනෙකු සිටින පවුලක කන්න දෙයක් නැති නිසා වයස අවුරුදු 9 ක දරුවෙක් නංගිලා, මල්ලිලා බඩගිනියි කියා හඬන විට කොස් ගස් වල නැග කොස් කඩා මවට ගෙනත් දී කුසගිනි නිවා ගන්නා පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

"මම පිළිකා රෝගියෙක්. මට දරුවෝ හයක් ඉන්නවා. මට රැකියාවක් කරන්න බෑ. දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ. ඉස්පිරිතාලෙන් ලැබෙන රුපියල් 3000න් තමයි මාසයක් කන්නේ. දරුවෝ බඩගිනියි කියලා අඬනකොට පුතා කොහේ හරි ගිහිල්ලා කොස් ගහකට නැගලා කොස් ගෙඩියක් කඩාගෙන ගෙනත් දවස් දෙක තුනක් කනවා. අනේ දෙයියනේ කන්න නැතිව දරුවෝ ටික මැරිලා යයි. දරුවෝ බේර ගන්න අපිට උදව් කරන්න." රෝගී පියා සංවේදී වෙමින් පවසා සිටියා.

මෙම පවුලේ මව පියා ඇතුළු පිරිමි දරුවන් තුන්දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන්දෙනෙකු සමඟ පවුලේ සංඛ්‍යාව අටක්. එහි වැඩිමහල් දරුවා වයස අවුරුදු 11 ක් වන අතර බාල දරුවාගේ වයස අවුරුදු එකහමාරයි. වැඩිමහල් ගැහැනු දරුවා රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක නවතා ඇති අතර ඉතිරි දරුවන් පස්දෙනා කහවත්ත ප්‍රදේශයේ නිවසේ මවුපියන් සමඟ ජීවත් වෙනවා.

"කහවත්ත ප්‍රාදේශීය ලේකම්තුමා අපිට නාහල්වතුර, පනුගල ප්‍රදේශයෙන් ඉඩමක් දුන්නා. ඒකෙ ගේ හදන්න හදනකොට ඒ ගමේ අය ඇවිත් පිටගම්කාරයින්ට මේකෙ ඉඩම් දෙන්න බෑ කියලා ඒ ඉඩමේ බෝධියක් හිටවලා අපිව එලවලා දැම්මා. අපි කුලියට හිටපු ගෙදරිනුත් මහ රෑ අපිව එලවලා දැම්මා. මං ඇවිත් මේ ඇන්දාන ගමේ අලුත් ගම්මානයේ මේ ඉන්න තැන රෑ එළිවෙන කොට පොඩි ගෙයක් හදා ගත්තා ඉටිරෙදි ගහලා. ටික දවසක් ඉන්නකොට රත්නපුර පනගම භාවනා අසපුවේ ලොකු හාමුදුරුවෝ ඇවිත් දරුවො ටික තෙමෙන නිසා ගෙයක් හදල දෙන්නම් කිව්වා."

"අපේ ගෙට දැන් නඩු දාල තියෙන්නෙ. අපි සමෘද්ධිය ඉල්ලුවා ළමයින්ට කන්න දෙන්න විදියක් නෑ කියලා. නමුත් ප්‍රාදේශීය ලේකම්තුමිය අපේ ගෙදරටත් ඇවිත් බැලුවා. බලලා කිව්වා සමෘද්ධිය දෙන්න බෑ කියලා. කලින් හිටපු ලේකම්තුමා අපිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් 500ක දීමනාවත් දුන්නා. මේ ලේකම්තුමිය ඒකත් නවත්තල දාල ඉඩමෙන් ඉවත් වෙන්න කියලා නඩු දැම්මා. අපිට නඩු කියන්නේ සල්ලි නැහැ. මට බෙහෙත් ටික ගන්න යන්න විතරක් රුපියල් 500ක්. අපිට දරුවෝ හය දෙනාටයි කෑම බීම සදහා ඔක්කොටම ලැබෙන්නේ මාසයකට රුපියල් 3000ක්.ඒකත් ලැබෙන්නේ ඉස්පිරිතාලෙන්. අපිට රජයෙන් උදවු කරන්නෙත් නෑ. මාගේ හිතවත් කිහිප දෙනෙක් තමයි දැනට ළමයින්ට කන්න බොන්න ගෙනත් දෙන්නේ. අපි කියන්නේ මේ දරුවො ටික ලොකු කරගන්නවත් අපිට උදව් කරන්න කියලා තමයි." දරුවන්ගේ මව මෙසේ පැවසුවා.

Rate this item
(0 votes)