March 28, 2024

ගැහැණුන්ට ගැවසෙන්න සුදුසුම නගර මෙන්න

කෝපන්හේගන් (ඩෙන්මාර්කය)
ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් මිලියන දෙකක ජනගහනයක් සහිතවූත්, ඩෙන්මාර්කයේ විශාලතමවූත් නගරයයි. ඉතා කාර්යබහුල නගරයක් වුවත්, අලංකාර වාස්තු විද්‍යාත්මක නිර්මාණ, ඉහළ පෙළේ සාප්පු සංකීර්ණ ආදියෙන් සමන්විත වූ කෝපන්හේගන් නගරය කාන්තා පාර්ශ්වයට සාප්පු සවාරි යාමට නම් කියාපුම නගරයක් බව බහුතරයකගේ විශ්වාසයයි. එහි නැරඹිය යුතුම චිත්තාකර්ෂණීය ස්ථාන අතර, ඩෙන්මාර්කය බිහිවූ අයුරු කියැවෙන මිථ්‍යා ප්‍රබන්ධ කතාවට පසුබිම් වූ ‘ගෙෆ් ජුන්’ උල්පතට හිමිවන්නේ සුවිශේෂවැදගත්කමකි.
 
ඔටාවා (කැනඩාව)
කැනඩාවේ අගනුවර වන බහු සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත ඔටාවා නගරයේ සංචාරයේ යෙදෙන්නන්ට ඉංග්‍රීසි භාෂාව මෙන්ම ප්‍රංශ භාෂාවද කිසිදු වෙනසකින් තොරව එකිනෙක මිශ්‍ර කරමින් කෙරෙන කතා අසන්නට ලැබිම සුලබ අත්දැකීමකි. සෑම සතිඅන්තයකදීම සංචාරකයින් පනස්දහසකට අධික පිරිසක් පැමිණෙන ‘බයිවර්ඩ්’ වෙළෙඳ‍පොළද නැරඹිය යුතුම ස්ථානයක් වන අතර එහිදී දේශීයව නිපදවෙන චීස් හා පාන් වර්ග රස විඳීමට පමණක් නොව අතින් සැකසූ ඇඳුම් හා ආභරණ ආදිය මිලදී ගැනීමේ අවස්ථාවද විලාසිතා ප්‍රිය කරන කාන්තා පාර්ශ්වයට හිමි වනු ඇත.
 
ඕක්ලන්ඩ් (නවසීලන්තය)
දාහතර ලක්ෂයකට අධික ජනගහනයක් වෙසෙන නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ්ද කාන්තාවන්ට තනිව සංචාරයේ යෙදීමට ආරක්ෂාකාරී නුවරක් ලෙස ප්‍රකටය. එහි වරායේ නිබඳව දැකිය හැකි රුවල් යාත්‍රා සමූහය නිසා ‘රුවල් නගරය’ යන අන්වර්ථ නමින්ද හැඳින්වෙන ඕක්ලන්ඩ් නුවර සුන්දර වෙරළ තීර නැරඹීමට හැකි නගරයක් ලෙසද සංචාරකයින් අතර ප්‍රකටය. විශේෂයෙන්ම ‘ඔරිවා’ ප්‍රදේශයේ වන සුදෝ සුදු වෙරළ තීරත්, ‘වයිවේරා’ උණු ජල උල්පත් නිකේතනයත් ඕක්ලන්ඩ් වෙත යන අයෙකු නැරඹීමට අමතක නොකළ යුතු ස්ථාන කිහිපයකි.
 
හෙල්සින්කි (ෆින්ලන්තය)
ෆින්ලන්තයේ අගනුවර මෙන්ම විශාලතම නගරයද වන හෙල්සින්කි එහි දැක ගත හැකි විස්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ හා කලාත්මක ගොඩනැගිලි නිසාම සංචාරක ආකර්ෂණය දිනාගත්තකි. නගරය සතු කලාත්මක ස්වභාවය නිසාම 2012 දී කාර්මික නිර්මාණ සංගම්වල ජාත්‍යන්තර කවුන්සිලය විසින් ලෝක නිර්මාණ අගනුවර ලෙසද තේරා ගැනුණු ‘හෙල්සින්කි’ නුවර නැරඹීමට ඇති කලාගාර හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ එමටය. මීට අමතරව ස්කැන්ඩිනේවියානු සම්ප්‍රදායේ විසිතුරු ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමටද හෙල්සින්කි වෙත යන කාන්තාවන්ට අවස්ථාව හිමිවේ.
 
හිලෝ (හවායි)
කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව සංචාරයේ යෙදීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ඇති නගර බොහෝමයක් ඇමෙරිකාවේ තිබුණද ඒ සියල්ල අතරින් පෙරමුණ ගන්නේ හවායි දිවයිනේ විශාලතම ජනාවාසය පිහිටි ‘හිලෝ’ ප්‍රදේශයයි. හාර ලක්ෂයක ජනගහනයකට නිවහන වූ හිලෝ යනු මනරම් සොබා සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් වන අතර ‘අකාකා ෆෝල්ස් ස්ටේට්’ උද්‍යානයේ පිහිටි අඩි හාරසියයක් උස්වූ දියඇල්ල යනු නැරඹිය යුතුම එබඳු එක් සුන්දර පිහිටීමකි. ‘මැකඩේමියා’ නමැති ඇට වර්ගය සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් උසුලන හිලෝ නගරයේ සංචාරයේ යෙදෙන්නන්ට මැකඩේමියා ඇට මැදි කළ ප්‍රණීත චොක්ලට් කැබැල්ලක රස බැලීමට අමතක වුවහොත් නම් එය ලොකුම අඩුවකි.
 
ඔස්ලෝ (නෝර්වේ)
සෑම වසරකදීම කාන්තාවන්ට සම සැලකීම ලබාදීම සම්බන්ධයෙන් මුල් තැන ගන්නා ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් නොර්වේ රාජ්‍යයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එහි අගනුවර මෙන්ම විශාලතම නගරයද වන ඔස්ලෝහි සංචාරක
ආකර්ෂණය බෙහෙවින්ම දිනාගත් ස්ථානයක් වන්නේ ‘විග්ලන්ඩ්’ මූර්ති උද්‍යානයයි. සෑම වසරකදීම සංචාරකයින්  දස ලක්ෂයකට අධික පිරිසක් ඒ වෙත ඇදී එන්නේ ‘ගුස්ටාව් විග්ලන්ඩ්’ විසින් නිර්මාණය කළ මනරම් කලා නිර්මාණයන් නැරඹීමටයි. යකඩ, ග්‍රැනයිට් හා ලෝකඩ ආදී මාධ්‍යයන්ගෙන් නිර්මාණය වුණු කලා කෘති දෙසීයක් පමණ එහි දැක ගත හැක.
 
සෙටුබාල් (පෘතුගාලය)
පෘතුගාලයේ සෙටුබාල් නගරය නිස්කලංක නිවාඩුවක් ගත කිරීමට මෙන්ම නැවුම් මුහුදු ආහාර හා ප්‍රණීත මුද්‍රික පානයන් රස විඳීමට ප්‍රිය කරන කාට වුවද කියාපුම ස්ථානයකි. එහි නැරඹීමට ඇති සුන්දර ස්ථාන අතරින් ‘සෙරා ඩා ඇරබිඩා’ ජාතික උද්‍යානය සුවිශේෂී වන්නේ එහි වන අසාමාන්‍ය සොබා පිහිටීම නිසයි. මුහුද හා වනය එක් වන අපූරුව දැක බලා ගත හැකි විරල අවස්ථාවක් ලබා දෙන සෙරා ඩා ඇරබිඩා උද්‍යානයේ වන සියලුම වෙරළ තීරයන් අතරින් වඩාත්ම මනස්කාන්ත වෙරළ ලෙස සැලකෙන්නේ මුහුදු රැලි කිසිවකින් තොරවූ නිසංසල වෙරළක අසිරිය විඳගත හැකි ‍පොර්ටින්හෝ ඩා ඇරබිඩා වෙරළයි. මෙම නගරය කාන්තාවන්ට ආරක්ෂිතව සංචාරය කළ හැකි නගරයක් ලෙස ප්‍රකටය.
 
මැල්මෝ (ස්වීඩනය)
සුන්දර සංස්කෘතියකින් මෙන්ම සොඳුරු මිනිසුන්ගෙන්ද සමන්විත සුන්දර රටක් ලෙස ලෝප්‍රකට ස්වීඩනයද කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ ප්‍රතිපත්ති අනුගමනය කරන්නකි. එහි තෙවනුවට විශාලතම නගරය වන ‘මැල්මෝ’ ක්‍රියාශීලී නිවාඩුවක් ගත කිරීමට ආශා කරන කාන්තාවන්ට ඉතාම උචිත නගරයකි. සොබාසිරි නැරඹීම සඳහා බෝට්ටු සේවයන්ද යොදවා ඇති මැල්මෝ නගරය පරිසර හිතකාමී ඇඳුම් පැළඳුම්, ආහාර වර්ග මිලදී ගැනීමටද සංචාරකයින්ට අවස්ථාව සලසා දී ඇත්තේ ඒ වෙත එන කවුරුන් තුළ වුවද පරිසර හිතකාමී ආකල්ප වර්ධනයට දායක වෙමිනි.
 
මාර්සෙයිල් (ප්‍රංශය)
රටක් වශයෙන් ගත්තද ඉහළම සංචාරක ආකර්ෂණයකට හිමිකම් කියන ප්‍රංශයේ දෙවනුවට විශාලතම නගරය වන ‘මාර්සෙයිල්’ යනු නැරඹිය යුතුම සුන්දර නගරයකි. කාන්තාවන්ට ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන්ද බහුතරයකගේ විශ්වාසය දිනාගත් මාර්සෙයිල් නගරය මධ්‍යධරණී වෙරළ තීරයේ පිහිටා තිබිම නිසා එහි සංචාරයේ යෙදෙන්නන්ට නානාවිද මුහුදු ආහාර රස බැලීමේ අවස්ථාවද නිතැතින්ම හිමිවේ. ඒ අවට පිහිටි දූපත් නැරඹීම සඳහා බෝට්ටු සේවා යොදවා ඇති අතර එම සංචාරයේදී කාගේත් අවධානය දිනා ගන්නා නැරඹුම් ස්ථානයක් වන්නේ 1960 වකවානුවේදී දිය යටින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමට යොදා ගත් විශේෂිත මෝටර් රථවල  නටබුන් පිහිටි ප්‍රදේශයයි.
Rate this item
(0 votes)