April 16, 2024

අකලංක සහ පබාගේ පෙම නිසා ඉනෝකාගේ ඉඩමත් සින්නයි

සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනීගේ  නවතම චිත්‍රපටය වන්නේ “සින්ඩරෙල්ලා”ය. අකලංක ගනේගම සහ උපේක්ෂා ස්වර්ණමාලි ප්‍රධාන චරිත නිරූපණය කරන “සින්ඩරෙල්ලා”හි වැඩකටයුතු ආරම්භවී වසර කිහිපයක් ගතවී තිබුණද, සින්ඩරෙල්ලා තවමත් සිනමාහල්වලට පා තබා නැත. සින්ඩරෙල්ලා ගේ ප්‍රමාදයට හේතුව ඉනෝකා සත්‍යාංගනී මෙසේ හෙළිකළාය.
 
සින්ඩරෙල්ලා චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වී දැන් වසර කිහිපයක් ගතවී තිබෙනවා. නමුත් තවමත් එය ප්‍රේක්ෂකයන්ට දැකගන්නට නොලැබුණේ ඇයි ?
“සින්ඩරෙල්ලා චිත්‍රපටයේ වැඩකටයුතු සියල්ල මේ වන විට අවසන්. මීට දින කිහිපයකට කලින් තමයි ඒ වැඩකටයුතු හමාර වුණේ. විශේෂත්වය තමයි චිත්‍රපටයේ වැඩකටයුතු නිම වුණාට පස්සේ අපට සින්ඩරෙල්ලා චිත්‍රපට දෙකක් ලැබුණා.
 
ඒ කිව්වේ ?
ඒ කියන්නේ “සින්ඩරෙල්ලා” චිත්‍රපටය කොටස් දෙකක් විදියටයි ඉදිරියේදී එළිදකින්නේ.
 
වැඩ අවසන් කළ පසු චිත්‍රපටය දිගින් වැඩිවුණු නිසා ද එය කොටස් දෙකක් විදිහට එළිදක්වන්න හිතුවේ ?
කිසිසේත්ම නැහැ. එවැනි හේතුවක් නිසා ‍නෙවෙයි සින්ඩරෙල්ලා චිත්‍රපට දෙකක් විදියට එළිදක්වන්න බලා‍පොරොත්තු වෙන්නේ. මෙහි පළමු කොටසින් ප්‍රේමයේ ආශ්චර්යත්, දෙවැනි කොටසින් ප්‍රේමයේ විරහවත් කියැවෙනවා. චිත්‍රපට දෙකේම ගීත 13ක් ඇතුළත් වෙනවා. ඒ පළමු චිත්‍රපටයේ ගීත 6ක් සහ දෙවැනි චිත්‍රපටයේ ගීත 7ක් විදිහට. ඒ නිසා මෙය නිරෝගී මට්ටමේ චිත්‍රපට දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්.
 
සින්ඩරෙල්ලා දැක බලාගන්න ප්‍රේක්ෂකයන්ට තවත් කාලයක් බලා හිඳීමට සිදුවේවිද?
සින්ඩරෙල්ලා පළමු කොටස ලබන වසරේ මුලදී එළිදකිනවා. මම බලා‍පොරොත්තු වෙනවා ඒ වන විට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අඩුම තරමින් සිනමා ශාලා 25-30ක් හෝ ඩිජිටල් කරණය වී තිබේවි කියලා. මොකද, මේක ප්‍රේක්ෂකයන් සමග කරන ගනුදෙනුවක්. අද ප්‍රේක්ෂකයන් මෝඩ නැහැ. ඔවුන් හොලිවුඩ්, බොලිවුඩ් ආදී සිනමා නිර්මාණ නරඹා තිබෙනවා. ලෝක සිනමාවේ වැනි වාණිජ සිනමාවක් අපේ රටේ නැති වුණත් සිනමාකාරිනියක ලෙස පහළ මට්ටමට වැටෙන්න මම කැමති නැහැ.
සින්ඩරෙල්ලා පළමු කොටස අවසන් වූ වහාම එහි දෙවැනි කොටස නැරඹීමට හැකි බවට ඔබට සහතික විය හැකිද?
පළමුවැනි චිත්‍රපටය අවසන් වුණාට පස්සේ අනෙක් චිත්‍රපටය තිරගතවන තුරු කාලයක් බලා ඉන්න වුවමනා නැහැ. පළමු සින්ඩරෙල්ලා චිත්‍රපටය අවසන් වෙන කොටම දෙවැනි චිත්‍රපටය නරඹන්න පුළුවන්. මෙය Back to Back රස විඳින්නට පුළුවන් චිත්‍රපට දෙකක්. සින්ඩරෙල්ලා පළමු කොටස ඉවරවූ වහාම ඊළඟට එම සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙන්නේ සින්ඩරෙල්ලා දෙවැනි කොටස මිස වෙනත් චිත්‍රපටයක් ‍නෙවෙයි. 
 
සින්ඩරෙල්ලා නිම කරන්නට මෙතරම් කාලයක් ගතවුණේ එහි වැඩකටයුතු සඳහා මුදල් සොයා ගැනීමට අපහසු වූ නිසාද ?
සින්ඩරෙල්ලා වැඩකටයුතු ආරම්භ කළේ 2011 වසරේ අප්‍රේල් 26 වැනිදා. චිත්‍රපටයේ වැඩ අවසන් කරන්න අවුරුදු තුනක් ගතවුණා. චිත්‍රපටය සඳහා වියදම් කරන්න මම උකස් තියපු ඉඩම මට අහිමි වෙලත් දැන් අවුරුදු දෙකක් වෙනවා. සින්ඩරෙල්ලා චිත්‍රපට දෙකක් විදියට එළිදක්වන්න සිදුවුණු නිසා මුලින් සිතාගෙන සිටියාට වඩා වැඩි වියදමක් ඒ සඳහා වැය වුණා. මොකද චිත්‍රපට දෙකක් විදියට එළිදක්වන විට පසු නිෂ්පාදන (Post-Production) වියදම් වැඩියි. ගීත පටිගත කිරීම සඳහාත් ලොකු මුදලක් වැය වුණා. වැඩකටයුතු නිමාවීමට වසර තුනක් ගත වුණත්, ඒ කාලය තුළ එක් සම  නිෂ්පාදකයකුගෙන් පමණක් මුදල් ලබාගෙන මට ලැජ්ජාවට පත්නොවී ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළ හැකි අන්දමේ චිත්‍රපට දෙකක් නිම කරන්න හැකි වුණා. වැඩ නිම කිරීමට කලක් ගත වුණත් සින්ඩරෙල්ලා නැරඹීමෙන් පරණ නොවුණු අත්දැකීමක් ලබාගන්න ප්‍රේක්ෂකයින්ට හැකිවෙනවාට කිසිම සැකයක් නැහැ.
Rate this item
(1 Vote)