April 25, 2024

විවිධ හේතු නිසා විවාහය කල් යනවා - තරින්දි කියූ කතාව

තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ මේ දිනවල රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන ශිල්පිනියක්. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසුව කලාවට පිවිසි තරින්දි මේ වෙද්දී ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන තියෙනවා.

තරින්දි කොහොමද ජීවිතේ…

ජීවිතේ හොඳින් ගතවෙනවා. කොවිඩ්-19 නිසා ටෙලි නිර්මාණ කිහිපයකම රූගතකිරීම් නතර වෙලා තියෙන්නේ. මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ හිරු මෙගා ස්ටාර් වේදිකාවට.

නර්තනය එක්ක තරින්දිට ලොකු බැඳීමක් තියෙනවා නේද?

සාමාන්‍ය පෙළ දක්වා මම උඩරට නර්තනය හදාරලා තියෙනවා. පසුව උසස් පෙළට වාණිජ විෂය ධාරාවෙන් හැදෑරුව නිසා නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න බැරි වුණා. ඊට පස්සේ කොළඹ ආවම විවිධ නර්තන අංශයන්හි මූලික හැදෑරීම් කළා. කොහොම හරි කලාවට සම්බන්ධ වෙලත් අවුරුදු තුනහාමාරකට පස්සේ දැන් තමා ආයේ මට අවස්ථාව ලැබුණේ මගේ නර්තන ජීවිතය අලුත් කරගන්න.

මේ වෙද්දී අවසන් 12 දෙනා අතරටත් ඇවිත් ඉන්නේ…

ඔව්. අවසන් 12 දෙනා අතරට එන්න තිබ්බ හයවැනි වටයේදී ගෝල්ඩන් බ්‍රසර් එක දිනා ගන්නත් අපිට පුළුවන් වුණා. මගේ එක්ක නර්තනයේ යෙදෙන්නේ හසින්ත මධුරංග. ගයාන් ශ්‍රීමාල් අයියා තමා අපේ නර්තන වින්‍යාසයන් සිදු කරන්නේ. ඒ එක්කම මගේ නර්තන අංගවලදී හිරාන් ජයසේකර, කසුන් ෆොන්සේකා, නන්දි සහ අමිල උදය තමා ඇඳුම් නිර්මාණය කරලා දෙන්නේ. ඒ අයවත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. ගොඩක් අය කියනවා මම සහ හසින්ත අපි දෙන්නට දෙන්න හරියට සහෝදරයෝ වගේ කියලා. සමහරු කියනවා ගැළපෙනම කපල් එකක් කියලා. ඉතින් එයා ඉන්න එක මට ලොකු ශක්තියක්. මොකද මම වෘත්තීය නර්තන ශිල්පිනියක් නොවන නිසා මගේ අඩුපාඩුත් හදාගෙන අපි ඉදිරියට යනවා.

මේ දවස්වල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි…

ඇත්තටම මම ඉස්කෝලේ යන කාලේ නර්තනයට ගොඩක් දක්ෂයි. පාසල් නර්තන කණ්ඩායමේ මම සාමාජිකාවක්. පළාත් තරගවලට පවා සහභාගි වෙලා තියෙනවා. කවදා හරි නර්තන ගුරුවරියක් වෙනවා කියන ආසාවත් මගේ හිතේ තිබුණා. නමුත් මම උසස් පෙළදී මම වාණිජ විෂය ධාරාව තෝරා ගන්නවා. ඒ නිසා නර්තනය මට මගහැරෙනවා. දැන් ආයෙත් මම ආස කරන නර්තනය එක්ක ජීවත් වෙනවා. ප්‍රතිචාර ගැන කියනවා නම් කියන්න වචන නැහැ. මට නර්තන හැකියාව තියෙනවා කියන දේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මෙගා ස්ටාර් වේදිකාව ලොකු රුකුලක් වුණා නර්තනය කියන දේත් මට පුළුවන් කියලා පෙන්වන්න. ඉතින් මගේ රංගන ජීවිතය වටා එකතු වුණු ප්‍රේක්ෂකයින් මගේ නර්තන ජීවිතය වටා එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නර්තන ගුරුවරියක් වෙන්න හීන දැකලා වාණිජ අංශය තෝරාගත්තේ කාගේ හරි බලකිරීමකටද?

නැහැ. මගේ අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. එයා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. මම පොඩි කාලේ ඉඳන්ම ආස කළේ අක්කා වගේ වෙන්න. මගේ ජීවිතේ මම පිළිවෙළට වැඩ කරනවා නම්, මම ලස්සනට අඳිනවා නම්, මම ලස්සනට කතා කරනවා නම්, ඒ හැමදේම මම ඉගෙන ගත්තේ මගේ අක්කාගෙන්. මොකද මම එයාගෙන් ඉගෙන ගත්තට එයා ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තේ තනියම. එයා හොස්ටල් එකේ හැදුණේ. එයා ගෙදර ආවම එයාගෙන් ඒ හැමදේම මම ඉගෙන ගත්තා. හැම නංගි කෙනෙක්ගේම පුරුද්දක් තියෙනවනේ අක්කලාගේ දේවල් අවුස්සන එක. මමත් අක්කගේ දේවල් අවුස්සලා ඒ දේවල් සෙල්ලම් කරන්න ගන්නකොට එයා දවස කළමනාකරණය කරගෙන තිබ්බ කාලසටහන් හැම දෙයක්ම දැකලා තියෙනවා. ඉතින් අක්කා බැංකු නිලධාරිනියක් විදියට අඳින පළඳින විදියට මම ආස කළා. ඒ එක්කම පොඩි කාලේ ඉඳන් ආස කළා මගේම ව්‍යපාරයක් කරන්න. ඔය හේතු දෙකම නිසා තමා මම උසස් පෙළට වාණිජ විෂයන් හැදෑරුවේ.

තරින්දි ඇයි බැංකු ක්ෂේත්‍රයට සමුදෙන්නේ…

මම පෞද්ගලික බැංකු ආයතන දෙකක වැඩ කරලා තියෙනවා. මගේ ඒ බැංකු ගමන වෙනස් වෙන්නේ මගේ අම්මා නැතිවෙනවා 2016 අප්‍රේල් 29 වැනිදා. එතැනින් පස්සේ මම බැංකුවේ මාසයක් විතර වැඩ කරලා මම බැංකුවෙන් අයින් වෙනවා. මොකද අම්මත් නැති නිසා ඒ වෙද්දී ගෙදර වගකීම් ටිකක් තිබ්බා. අක්කා එයාගේ පළපුරුද්ද එක්ක බැංකු ක්ෂේත්‍රයේ හොඳ රැකියාවක් කරන නිසා අක්කා රස්සාවෙන් අයින් වෙනවට වඩා ඒ වෙලාවේ හැටියට හොඳම තීරණය මම අයින් වෙන එක කියලා හිතුණා. ඒ නිසා ටික කාලයකින් ආයේ යනවා කියලා හිතලා මම අයින් වුණා. ඔය විදියට ඉන්න කාලේ මගේ හිත හදාගන්නත් එක්ක 2016 ජූලිවල මම ගයාන් ශ්‍රීමාල් අයියගේ නර්තන පන්තියට ගියා. එතැන තමා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ.

තරින්දි වැඩියෙන් කැමති සිනමාවටද? පුංචි තිරයටද?

පෞද්ගලිකව මම ගොඩක් ආසයි සිනමාවට.

තරින්දි වැඩකරන්න කැමති අධ්‍යක්ෂවරුන් ඉන්නවද?

එහෙම විශේෂයක් නැහැ. මට මේ වෙනකම් වැඩ කරන්න ලැබුණු හැම අධ්‍යක්ෂවරයෙක්ගෙන්ම මම මොනවා හරි දෙයක් ඉගෙන ගෙන තියෙනවා. අනික මම හිතන දේ තමා චරිතාංග රංගන ශිල්පිනියක් විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ හැම අධ්‍යක්ෂවරයෙක් එක්කම වැඩ කරන්න.

චරිත තෝරා බේරා ගන්නේ කොහොමද? සීමාවන් තියෙනවද?

ඔව්. මට දැනට මගේ සීමාව ඉක්මවලා යන චරිත ලැබිලා නැහැ. මේ වෙනකම් මට ලැබුණේ මට ගැළපෙන චරිත. මම කරන චරිත අනුව මට චරිත දෙන අයත් මගේ සිමාවන් දැනගෙන තමා මට ආරාධනා කරන්නේ කියලා මම විශ්වාස කරනවා.

බැංකු ක්ෂේත්‍රයෙන් කලාවට එද්දි විරෝධතාවයක් ආවෙ නැද්ද?

මගේ පවුලේ සහයෝගය නැත්නම් අද මම මෙතැන නැහැ. මගේ පවුලේ තියෙන විශේෂත්වය තමයි මං ගැන උපරිම විශ්වාස කරලා මගේ තාත්තයි, අක්කයි මට උපරිම නිදහස දුන්න එක. මට සීමා දැම්මේ නැහැ. මම ෂූටින් ගියේ තනියම. ඒ නිසා මගේ තාත්තටයි, අක්කටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මගේ ගමන යන්න මට දුන්න සහයෝගයට.

ඔයාගෙ ආදරේ ගැනත් කතා කරමුකෝ…

ආදරය සුන්දරයි. මමත් ඒ සුන්දර ආදරය අත්විඳින කෙනෙක්.

පෙම්වතා ගැන දැන් හැමෝම දන්නවනේ, කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම මට ලැබිලා තියෙන පෙම්වතා ගැන කියනවා නම් එයාව මම විවිධ විදියට දකිනවා. මගේ ලෝකයේ ආදරවන්තයා. ඔහු මට වෙලාවකට තාත්තා කෙනෙක්. ඒ වගේම මගේ සහෝදරයා ඔහු. මගේ හොඳම යාළුවාත් ඔහු. ඒ හැම භුමිකාවක්ම ඔහු තුළින් මම ලස්සනට අත්විඳිනවා. අද මම මේ ඉන්න මෙගා ස්ටාර් වේදිකාවෙ මට විවිධ වූ චරිත නිරූපණය කරන්න උපරිම නිදහස ලැබෙන්නෙත්, මට විවිධ චරිත තුළින් මගේ රංගන ජීවිතේ සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙන්නෙත් ඔහු වගේ කෙනෙක් මගේ පෙම්වතා වූ නිසා. මේ මොහොත වෙනකම් මට ඒ ලබා දෙන සහයෝගය නිසා ඔහුව මගේ ජීවිතේ තියන්න පුළුවන් ඉහළම තැන මම තියනවා. එයාටත් මේ වෙලාවේ හොඳ අවස්ථා ලැබෙනවා. අපි දෙන්නා අතර තියෙන ඒ අන්‍යෝන්‍ය අවබෝධය නිසා තමා අපි දෙන්නටම එකම ගමනක් යන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන එක මම දැඩිව විශ්වාස කරනවා.

එක වහලක් යටට එන්න බැරි වෙලා තියෙන්නේ මේ කොවිඩ් නිසාද?

ඒකත් එක හේතුවක්. අපි සැලසුම් කරනවා මේ අවුරුද්දේ කරනවා ලබන අවුරුද්දේ කරනවා කියලා. නමුත් විවිධ හේතූන් මත කල් යනවා. අපි දෙන්නම මේ දවස්වල කාර්යබහුල නිසා දැනට නිශ්චිත දිනයක් නැහැ.

තරින්දි කොහොමද මංගල දිනය සැලසුම් කරන්න ඉන්නේ…

අපි දෙන්නගේ ගොඩක් අදහස් ගැළපෙනවා කියන එක කොයි තරමද කියනවා නම් බොරුවට ලොකුවට වියදම් කරලා වෙඩින් එකක් ගන්න එයත් කැමති නැහැ මමත් කැමති නැහැ. ඉතින් අපි දෙන්න හිතන් ඉන්නේ කවුරුත් නොකරපු විදියට දෙයක් කරන්න.

ව්‍යපාර කරන්න පුංචි කාලේ ඉඳලා කැමතියි නේද?

පොඩි කාලේ ඉඳන් කියන දෙයක් වුණාට තවම මට ප්‍රායෝගිකව කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි කොහොම හරි ව්‍යාපාර පැත්තට යොමුවෙනවා.

අද ඉන්න තැන ගැන තරින්දිට මොකද හිතෙන්නේ..

මට හිතෙන්නේ මගේ දෛවයේ ලියැවිලා තියෙන තැන තමා මෙතන. මම බැංකුවෙන් අයින් වුණෙත් ආයේ බැංකුවට යනවා කියලා හිතලා. ඒත් මමත් දන්නේ නැහැ මාව මෙතැනට යොමු වුණා. මම ආදරේ තැන මෙතැන. මම කතෝලික කෙනෙක්. ඒ නිසා මම හිතනවා දෙවියන් වහන්සේ මාව මෙතැනට ගෙනාවා කියලා.

පාසල් යාළුවො, බැංකු ක්ෂේත්‍රයේ යාළුවො තවම මුණගැහෙනවද?

ඔව්. ඒ අය තමා මගේ හොඳම ප්‍රේක්ෂකයන්. මගේ මේ කලා ජීවිතේට ඒ අය ලොකු සහයෝගයක් දෙනවා. ඒ අයගේ ආශිර්වාදය මට හැමදාම තියෙනවා.

අනාගතය ගැන හෙට දවස කොහොමද බලාපොරොත්තුව?

ජීවිතේ ගැන සැලසුම් තියෙනවා. හැබැයි ලොකු බලාපොරොත්තු නැහැ. මේ වෙද්දී තියෙන එකම දේ තමා මට මේ ලැබුණු කලා ජීවිතේ ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන එක.

තරින්දිට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

විවිධ චරිත තුළින් මම ප්‍රේක්ෂකයන් අතරට ආවා. ගොඩක් අය මා වටා එකතු වුණා මට ආදරය කරන්න පටන් ගත්තා. ඒ අයගේ හිතේ තරින්දි කෙනෙක් ඉන්නවා. මට කියන්න තියෙන්නේ ඒ තරින්දි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉදිරියටත් ඒ අය පිනවන ආදර්ශවත් චරිත තුළින් ඒ අය අතරට එනවා කියන එක තමා කියන්න තියෙන්නේ.

Rate this item
(0 votes)