April 17, 2024

"ඒ දරුවා කොහේ හරි ඉදන් කතා කරයි කියලා මම බලන් ඉන්නවා" - ප්‍රවීණ ගායිකා චරිතා ප්‍රියදර්ශනී කියූ අපූරු කතාව

චරිතා ප්‍රියදර්ශනී කියලා කියන්නේ අපේ රටේ සිටින ඉතාමත්ම දක්ෂ ගායන ශිල්පිනියකි. ඒ විතරක්ම නෙවෙයි ඇය විනිසුරුවරියක් ලෙසත්, නිවේදිකාවක ලෙසත් කලෙක පටන් කටයුතු කරනවා. මේ වන විට චරිතා ප්‍රියදර්ශනී මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ ජන සංන්නිවේදනය පිළිබදව ශාස්ත්‍රපති උපාධිධාරීනියක් වෙනවා. ඒ වගේම ඇය සංගීත විශාරදවරියක්ද වෙනවා. ඇය පසුගිය දිනයක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවට එකතුවී මෙසේ අදහස් දක්වා තිබුනා.

මේ දවස්වල ඔබතුමිය ටිකක් කාර්‍යබහුලයි නේද?

පසුදිය දිනවල ගොඩාක් වැඩ අතරමග නැවතිලයි තිබුණේ. නමුත් මේ වෙනකොට එම වැඩ යළිත් කරන්න පටන් අරන් තියෙනවා. මේ දවස්වල කලා ආයතනයේ අධ්‍යාපන කටයුතු සිදුකරන්නෙත් ඔන්ලයින් තාක්ෂණය හරහා. ඒ වගේම තව සංගීත වැඩකටයුතු කිහිපයක්ම සමග මේ දවස්වලනම් කාර්‍යබහුලයි.

සැරිසර ශිල්ප ශාලිකාව කියන්නේ බොහෝ කාලයක් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් කලා ආයතනයක්. ඒ නිසා ඒ ගැනත් කතා කරමු නේද?

මගෙයි එඩ්වඩ්ගෙයි සහයෝගයෙන් යුතුව සැරිසර කලා ආයතනය පටන් අරගෙන දැනට වසර 35 ක් පමණ වෙනවා. එම කලා ආයතනය මගින් මේ වන විට විශාල ප්‍රමාණයක් දරුවන් කලාව ගැන හදාරලා තියෙනවා. එම කලාකරුවන් අතර මේ වෙනකොට බෙහෙවින්ම ජනප්‍රිය හිමාලි සයුරංගී, අන්ජුලා රාජපක්ෂ, කෝකිල පවන් ආදී ජනප්‍රිය කලාකරුවන් පවා බිහි වෙලා තියෙනවා. ඒ ගැන මට සහ එඩ්වඩ්ට තියෙන්නේ නිහතමානී සතුටක්. අපි දෙන්නා වයස සීමාවකින් තොරව කලා ආයතනයට කලාව හැදෑරීමට කැමති පිරිස් බඳවා ගන්නවා. මේ වගේ කාලෙක සෞන්දර්ය සමග කාලය ගත කරන්න ලැබීම ඇත්තටම මානසික සුවයක්.

නිවේදිකාවක් විදියට කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න පවුලේ ආභාෂය බලපෑවද?

මගේ තාත්තා ආරියදාස පීරිස් කියන ප්‍රවීණ නිවේදක යයි. ඒ වගේම මගේ තාත්තගේ සහෝදරයෝ හා යාළුවොත් කලාවට ගොඩක් සම්බන්ධ අය මේ නිසාම මට නිවේදන ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් ළඟින්ම ඇසුරු කරන්නට ලැබුණා. මම පොඩි කාලේ ඉඳන්ම ගොඩක්ම ආස කළේ ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට සේවය කරන්න. නමුත් මගේ තාත්තාගේ දැඩි විරෝධ මත තමයි මම ගුවන් විදුලි නිවේදිකාවක් විදියට සේවය කළේ. මම හිතනවා තාත්තාගෙන් ලැබුණු ආභාශය සහ මගේ දක්ෂතාවය මට නිවේදිකාවක් වීම සදහා බලපෑවා කියලා.

චරිතා ප්‍රියදර්ශනී කියන නම ඇසූ පමණින්ම කාගේත් මතකයට නැගෙන ගීත කිහිපයක් මතක් කරමු නේද?

මට ඕන වුණේ රැල්ලට ගීත ගායනා කරන්න නෙමෙයි. මිනිස්සුන්ට ගුණාත්මක දෙයක් දෙන්න පුළුවන් ගීත ගායනය කරන්න තමයි මම ගොඩක් ම උත්සාහ කරේ. මම හිතනවා මම සාර්ථකයි කියලා. මම රසිකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය වුණේ කුඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කළ විශාරද ගුණදාස කපුගේ මහතා විසින් සංගීතවත් කළ එඩ්වඩ් ජයකොඩි සමගින් ගායනයෙන් සම්බන්ධ වුණු පන්සලේ පල්ලියේ කියන යුග ගීතයයි. මම හිතනවා මගේ සංගීත දිවියේ එම ගීතය හැරවුම් ලක්ෂයක් වුණා කියලා. මම කලින් ගීත රැසක්ම කළ ද චරිතා ප්‍රියදර්ශනී කියලා ගායිකාවක් සිටිනවා කියලා රසිකයන් දැනගත්තේ එම ගීතය මගිනි. ඉන්පසුව සෙනෙහසේ නවාතැනේ, අහස් ගැබේ සහ ඉන් පසුව කාලය අතරතුර මම තනියෙන් සහ යුග ගීත ලෙස ගායනා කරපු ගීත රැසක්ම බෙහෙවින්ම ජනප්‍රිය වුණා. ගායිකාවක් නිවේදිකාවක් විදිහට පමණක් නෙමෙයි මගේ වටා මිනිස්සු එක්රැස් වුණේ. මගේ තියන නිහතමානී කමට සහ මගේ තියෙන ගුණයහපත්කම ට මිනිස්සු මට තරාතිරම නොබලාම ආදරය සහ ගෞරවය දැක්වුවා.

මේ වසර ගණනාව තුළ ඔබට ආදරය කරන රසිකයන් ගෙන් ලැබුණු හොඳම ප්‍රතිචාරය කුමක්ද?

මම විවාහ වුණු මුල් කාලයේ කුරුණෑගල පැත්තේ සංගීත ප්‍රසංගයකට ගියා. ඒ කාලේ මම ගොඩක් තරුණයි. සංගීත ප්‍රසංග වලට එක එක ප්‍රදේශ වලට ගියාම අපිට ගොඩක් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම සමහර දුෂ්කර ප්‍රදේශවල පහසුකම් ගොඩක්ම අඩුයි. නමුත් අපි මිනිස්සුන්ට තියෙන ආදරේ නිසාම ඒ දේවල් ගැන නොතකාම එම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. මම ඒ කාලේ සංගීත ප්‍රසංගවලට යන්නේ ගොඩක් ලස්සනට ඇඳලා පැළදලා පවුම් 10 ක විතර මාලයක් පැළඳ ගෙන තමයි. ඒ වගේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ දිනයක ප්‍රසංගය පටන් ගැනීමට සුළු මොහොතකට පෙර ගන්න අපහසු ඉතාමත් අපිරිසිදු තැනක මගේ පෙන්ඩන්ට් එක වැටෙනවා.

ඒ වෙලාවේ ඉතාමත් කාර්යබහුලයි මට ඒ පෙන්ඩන්ට් එක ගන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. ඒ වෙලාවේ ගීත ගායනා කරන්න තිබුනෙත් මට. මම ඒ නිසා ගොඩක්ම දුකින් හිටියේ. මම එහෙම අපහසුතාවයට ලක් වෙලා ඉන්න විට මට ගොඩක් ආදරය කරන රසිකයෙක් එතැනට ඇවිල්ලා මට කිව්වා ඔබතුමිය වේදිකාවට යන්න මම පෙන්ඩන්ට් එක හොයලා ගෙනත් දෙන්නම් කියලා. ඉන් පසුව ඔහු එය අපිරිසිදු ස්ථානයෙන් අහුලා හොඳින් පිරිසිදු කරලා මට ගෙනත් දුන්නා. මට මගේ සහෝදරයෙක් වත් නොකරන උදව්වක් තමයි ඔහු එදා මට කරේ. එම සිදුවීමෙන් පසු අපි ඔහු සමඟ ටික කාලයක් ගොඩක් සුහදව කතා කරා. නමුත් ටික කාලෙකින් ඔහු ගැන තොරතුරක් අපිට දැන ගනීමට ලැබුණේ නෑ. මම තවම බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ ළමයා මට කතා කරයි කියලා. එදා මට ඔහුට හරියට ස්තුති කරන්නවත් තේරුනේ නෑ. ඒ නිසා මම තාම ඔහුව හොයනවා කොහේ හරි ඉඳන් මට කතා කරයි කියලා. ඔහු මට කරපු උදව්ව මම කවදාවත් අමතක කරන්නේ නැහැ.

එඩ්වඩ් ජයකොඩි මහතා සමග එකම ක්ෂේත්‍රය තුළ ගමනක් යන එක ගැන ඔබට කුමක්ද හිතෙන්නේ?

මම එඩ්වඩ්ව හඳුනාගන්නේ පාසැල් යන කාලයේදීමයි. ඉන්පසුව අප දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගා ගන්නා අතර අපි දෙන්නා 1991 වසරේදී විවාහ දිවියට එළබෙනවා. එදා ඉදන්ම අද වෙනකන්ම දැනට වසර 30 කට ආසන්න කාලයක සිට අපි දෙන්නා එකම ක්ෂේත්‍රය තුළ එකට ගමනක් යනවා. හරිම සහයෝගයෙන් තමයි අපි මේ ගමන යන්නේ. මගේ දුවයි පුතයි දෙන්නත් මේ වෙනකොට කලා ක්ෂේත්‍රයට යොමු වෙලා ඉන්නවා. එඩ්වඩ් සමග විවාහ වීම මගේ ජීවිතේ ලොකුම වෙනසක් කරා ඔහු තමයි අපේ ලොකුම ශක්තිය. විවාහය කියලා කියන්නේ නොගැළපීම් ගලපාගෙන එකිනෙකාව හොදින් තේරුම් ගෙන බොහොම පරිස්සමින් ඉදිරියට යා යුතු ගමනක්. මට වාසනාවන්ත දරුවෝ දෙන්නෙක් ඉන්නවා වාසනාවන්ත සැමියෙන් ඉන්නවා. ඒ නිසා මම මගේ ජීවන ගමන ගැන බෙහෙව්වින්ම තෘප්තිමත් වෙනවා.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 28 July 2021 12:34