April 20, 2024

කොරෝනා හැදිලා මිය ගියොත් ලී පෙට්ටිය වෙනුවට හම්බ වෙන කාඩ්බෝර්ඩ් පෙට්ටිය මෙන්න (VIDEO)

මිය ගිය පුද්ගලයෙකු දේහය තැන්පත් කිරීම සඳහා යොදා ගනු ලබන ලී පෙට්ටි වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාර්ඩ් බෝර්ඩ්වලින් සෑදු පෙට්ටි යොදා ගැනීමට දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව කටයුතු ආරම්භ කර තිබේ.

එම නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කර සිටියේ මෙම කාර්ඩ් බෝර්ඩ් මිනීපෙට්ටි හරහා කරුණු කිහිපයක් බලාපොරොත්තු වන බවයි. 

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිත කරන ලීවලින් සාදන ලද පෙට්ටි හේතුවෙන් විශාල ගස් ප්‍රමාණයක් කැපීමට සිදුවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙය අවම කර ගැනීමට හැකි නම් මෙරට විශාල පරිසර හානියක් අවම කරගත හැකි බවයි.

මෙන්ම ලී පෙට්ටියක් ආදාහනය කිරීම සඳහා විශාල විදුලියක්, ගෑස් ප්‍රමාණයක් මෙන්ම කාලයක් ද වැය වන බවට ඔහු සඳහන් කළ අතර මෙම ලී පෙට්ටි පිළිස්සීම මඟින් යම් කාබන් ප්‍රමාණයක් ද වාතයට එකතු වන බව පවසා සිටියේය.‍

මෙම සියලු දේ අවම කිරීමක් ලෙස දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව විසින් ඊයේ (25) දිනයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි කාර්ඩ් බෝර්ඩ් මිනීපෙට්ටි යොදා ගැනීමට කටයුතු ආරම්භ කළ බවද ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කළේය.

කොවිඩ්-19 හේතුවෙන් මිය යන පුද්ගලයෙකුගේ සිරුරක් තැන්පත් කිරීම සඳහා යොදා ගනු ලබන ලීපෙට්ටියකට රුපියල් තිස්දහසක හෝ හතලිස්දහසක පමණ මුදලක් වැය වන බව පවසන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොරෝනා වසංගතයෙන් බැට කන ජනතාවට එතරම් මුදලක් දරා ගැනීමට නොහැකි බවයි.

එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙම කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියක් සඳහා වැයවන්නේ රුපියල් දස දහසක පමණක් බවයි.

එම කාර්ඩ්බෝර්ඩ් බාහුලම්වල වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(2 votes)
Last modified on Wednesday, 26 May 2021 01:14