April 24, 2024

පිලිප් කුමරුගේ අවමංගල්‍යයට නොසිතු කෙනෙකුගෙන් ලැබුණු සුවිශේෂි මල්වඩමක් (PHOTOS)

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ස්වාමියා වූද, එඩින්බරෝ හී ආදිපාදවරයා ද වූ පිලිප් කුමරුගේ අවමංගල්‍ය සඳහා බොහෝ මල්කළඹ ප්‍රමාණයක් ලැබී තිබුණි.

නමුත් ඒ අතර තිබූ තරමක් සුවිශේෂි මල්කළඹක් පිළිබඳව බොහෝ බ්‍රිතාන්‍ය මාධ්‍යවල අවධානය යොමුව තිබුණි. මෙම මල්කළඹ සමඟ අත් අකුරින් ලියන ලද ලිපියක් ද තිබූ බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි. 

මෙම මල්කළඹ එවා තිබුණේ පසුගිය දිනක බ්‍රිතාන්‍ය පවුල පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලද හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල් විසිනි.

ඇයට සිය සැමියාගේ මුත්තනුවන්ගේ අවමංගල්‍ය සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර එයට හේතුව වී තිබුණේ ඇය දෙවෙනි දරු ප්‍රසුතිය සඳහා සුදානම් වීමත්, ඇයගේ වෛද්‍යවරුන් ගුවන් ගමන් තහනම් කර තිබීමත් යන කරුණු නිසාය.

එම හේතුව නිසා ඇය විසින් හැරී කුමරු අත සිය ශෝක ප්‍රකාශය එවීමට කටයුතු යොදා තිබුණි.

යුවල විසින් පිලිප් කුමරු හට අවසන් ගෞරවය සඳහා තබා තිබූ මල්කළඹ තුළ සුවිශේෂීත්වයක් තිබුණි. ඒ එය නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබූ මල් හේතුවෙනි.

මෙය නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබූ සියලු මල්වලින් විශේෂ කරුණු කිහිපයක් නියෝජනය වූ බව සඳහන් වෙයි.

මේ සඳහා  ඇකැන්තස් මොලිස් (Acanthus mollis) යන ඉති වර්ගය යොදාගෙන තිබුණු අතර එය ග්‍රීසියේ ජාතික පුෂ්පය ද වෙයි. මෙම විශේෂ ඉති වර්ගය මඟින් පිලිප් කුමරුගේ උරුමය නියෝජනය කරන බව සඳහන් වෙයි.

එරින්ජියම් (Eryngium) නොහොත් සී හෝලි (Sea Holly) යන පුෂ්පය ද මෙම මල්වඩම සඳහා යොදාගෙන තිබූ අතර එය පිලිප් කුමරු නියෝජනය කළ රාජකීය මැරීන් භටයින් නියෝජනය කරයි.

කැම්පානුලා (Campanula) පුෂ්පයද මෙම මල්වඩම සඳහා යොදාගෙන තිබුණු අතර එමඟින් කෘතඥතාව සහ සදාතනික ප්‍රේමය නියෝජනය කරනු ලබන බව සඳහන් වෙයි.

එමෙන්ම රෝස්මරි මල් (Rosemary) ද මෙම මල්වඩම සඳහා යොදාගෙන තිබූ අතර එමඟින් අනුස්මරණය ද සිහිපත් කරනු ලබයි.

ඊට අමතරව ලැවන්ඩර් (Lavender) මල්වලින් ළැදියාව පෙන්වීමටද, රෝස මල්වලින් පිලිප් කුමරු උපන් ජුනි මාසය නියෝජනය කිරීමටද යොදාගෙන තිබුණි.

හැරී සහ මේගන්ගේ මෙම අපුරු මෙන්ම සුවිශේෂී අවසන් ගෞරව දැක්වීම බොහෝ දෙනාගේ පැසසුමට මෙන්ම අවධානයටද යොමුව තිබුණි.

ලෝකයේ සිටින ඉහළම පෙළේ මල්කළඹ නිර්මාණ ශිල්පිනියක වන විලෝ ක්‍රොස්ලි විසින් මෙම මල්වඩම නිර්මාණය කර තිබීම මෙහි තවත් සුවිශේෂිත්වයකි.

මෙම අවමංගල්‍යයට සහභාගී වීමට නොහැකි වූවත් මේගන් සහ ඔවුන්ගේ පුත් ආර්චි විසින් සජීවිව මෙම අවස්ථාව සඳහා සම්බන්ධව සිටි බවටත් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අවමංගල්‍යයට සහභාගී වූ හැරී කුමරු

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 April 2021 11:05