April 25, 2024

ඇන්ජලින් ගුණතිලක ඓතිහාසික දස්කොන් ජානයන්ට නෑකම් කියන්නියක්

මෙරට ගීත වංශයේ එක් පරිච්ඡේදයක් සනිටුවන් කළ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ චරිතාපදානය රචනා කිරීමට හේතු වූයේ ඇයගේ වංශ කතාව පිළිබඳ වටිනා තොරතුරු රැසක් තමන්ට සොයාගැනීමට හැකිවූ නිසා බව ප්‍රවීණ ලේඛක සුජිත් අක්කරවත්ත මහතා පෙන්වා දෙයි.

මේ ගැන කවුරුවත් වැඩිය සොයා නැති බව පෙන්වා දෙන අක්කරවත්තයන් ලංකාව ජාන පද්ධතියන් එකට එකතු වෙච්ච බහු විධ රටක් ලෝකේ කොහේවත් නොමැති බවත් ලංකාව හදා තිබෙන්නේ තව ජාතියක් සංහාරය කොට නොව එකිනෙකාට බැඳිච්ච ජාන සමූහයක් එකතු වීමෙන් බවද අවධාරණය කරයි.

ඒ පදනම තුළ විශේෂයෙන්ම නුවර යුගයේ ලංකාවට ආ ලැනරෝල්වරු අපි අසා තිබෙන දස්කොන්ගේ ජාන මතු වීමක් බවද අක්කරවත්තයන්ගේ අදහස වේ.

දස්කොන් මතු වූයේ කවියකු ලෙස වුවත් දස්කොන්ට පසුකාලීනව සිදු වූයේ කුමක්දැයි කිසිවකුත් සොයා නොබැලූ බව අක්කරවත්තයන් හෙළි කරයි.

දස්කොන්ගේ ජාන පරම්පරාගතව පැමිණ අවසානෙට ලැනරෝල්ලා ලෙස ඇන්ජලින් ගුණතිලකලා මතුවූ බව අක්කරවත්ත යන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඇන්ජලින් ගුණතිලක ගායිකාව ලංකා ඉතිහාසයේ නොමැකෙන ලෙස ලිවීමේ අවශ්‍යතාවයක් තමන්ට තිබූ බව පෙන්නා දෙන අක්කරවත්තයන් විනයානුකූල ගැහැණියක් වූ ඇයට සාධාරණත්වයක් ඉෂ්ට නොවූ බවත් ඇය ගායිකාවන්ට සාධාරණත්වය ඉෂ්ඨ කිරීමට අඩිතාලම දැමූ තැනැත්තිය බවද පෙන්වා දෙයි.

සුජිත් අක්කරවත්තයන් මේ අදහස් පළ කළේ ඔහු විසින් රචිත පොත් හතට ඇතුළත් "ඇන්ජලින් ගුණතිලක ගී කිදුරිය" චරිතාපදාන කෘතිය පිළිබඳව ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 11:30