April 19, 2024

දරුවන් 20ක් දැයට දුන් පියා අවසන් ගමන් යයි

මෙරට දරුවන් විසි දෙනෙකු ලොවට දායාද කළ පියාගේ අවසන් කටයුතු ඊයේ (28) මැදින් පුන් පොහෝ දින ගලේවෙල කටුපොත ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

මෙරට වැඩිම දරුවන් පිරිසක් ජනිත කළ එනම් දරුවන් විසි දෙනෙකු ජනිත කළ මව හා පියා  ගලේවෙල කටුපොත ප්‍රදේශයේ පදිංචි සිටියහ. මෙසේ අවසන් ගමන් ගියේ ගොඩයලගේ ජිනදාස නම්වූ වයස අවුරුදු 89කුත් මාස 11 ක් ජීවත් වූ විසි දරු පියායි.

ගලේවෙල කටුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි ජිනදාස මහතාත්, එච්.ඒ.රොසලින් නෝනා අවුරුදු 84ක මාතාව දරුවන් විසි දෙනෙකු මෙලොවට බිහි කොට පසුගිය කාලයේ මුළු සමාජයේම කතාබහකට ලක් වෙමින් ජාතියේ උදාර පියා ලෙසත් ජාතියේ උදාර මව ලෙසත් මෙම මාපිය යුවල උපහාර ලැබූහ.

එමෙන්ම පසුගිය 2017 වසරේ මුලින්ම ජනමාධ්‍ය මගින් මෙම මව සහ පියා පිළිබඳව ලෝක මවුවරුන්ගේ  දිනයේ හෙළිදරව් කෙරිණි .ඉන්පසුව මෙම මව සහ පියා පිළිබඳව දිවයිනේ සෑම රූපවාහිනී නාලිකාවකම විශේෂ වැඩසටහන් හා ප්‍රවෘත්ති වලට මෙම උදාර මව සහ පියා පිළිබඳව හෙළිදරව් විය.

මෙරට බොහෝ පුවත්පත් මෙන්ම බොහෝ සංවිධාන වලින් මෙම මවට උපහාර පිදීම පුවත්පත වාර්තා කිරීම ආදී කරුණු රැසක් ද ඉන්පසු සිදුවිය. කුඩා කාලයේ සිටම ඉතා සතුටෙන් දිවි ගෙවූ ජිනදාස පියාණන්ට දරුවන් 20ට අමතරව තුන් මුණුබුරන් දැක මේ වන විට දරු මුනුබුරන් ගණන හාරසිය පනස් තුනක් බව ඔවුන්ගේ මුණුබුරුවන් පවසති.

තම පියාණන් සීයා මුත්තා ආදී නම්වලින් හදුනන දරු මුනුබුරෝ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් විසිරී සිටින බවද එම ඥාතීහු ආඩම්බරයෙන් යුතුව අප සමඟ පැවසූහ.

ජිනදාස පියානන්ගේ දේහය කටුපොත ගලේවෙල කටුපොත නිවසේ තැන්පත් කොට තිබුණු අතර ඊයේ (28) දින පස්වරුවේ දරු මුණුබුරන් හාරසිය පනස් තුන් දෙනෙකු මෙන්ම වයස අවුරුදු අසූ හතරක් වූ තමන් ඉතා ආදරයෙන් රැක බලා ගත් බිරිඳ වන රොසලින් නෝනා මාතාව ද දමා මිහිමත සැඟව යන්නට විය.

මෙම පුවත පිළිබඳව 2017 වසරේ අප වෙත දැනුම් දුන් එවකට ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වූ දුමින්ද බණ්ඩාරනායක මහතාද දේහයට අවසන් ගෞරව දක්වමින් අප සමග කියා සිටියේ මෙම මව සහ පියා රටට හඳුන්වාදීමට ජනමාධ්‍යයට තොරතුරු ලබා දීමට තමන්ට හැකි වූ බව ය එය තමන් සිදු කළ පිනක් බව සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 19:26