March 29, 2024

තහනම් වූ හේන නැවත ඉල්ලන රාවනා පරපුරේ මිනිස්සු

අහිමි වී ගිය හේන් වගාව නැවත ස්ථාපිත කර දෙන්නැයි වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මාතලේ ලග්ගල ලකේගල පාමුල ජීවත්වන රණ පරපුරේ සිට පැවත එන රණමුරේ ගම්මානයේ වැසියෝ ඉල්ලා සිටිති.

ලකේගල පාමුල ජීවත්වන ගම්මාන දෙකක ජනතාව රාවණා පරපුරේ සිට පැවත එන පිරිසක් බව ඔවුහු හඳුන්වති.

අතීතයේ සිට මෙම ජනතාව හේන් ගොවිතැනින් ජීවත් වූවෝ වෙති. ඔවුන් අවස්ථා ගණනාවක දීම තමන්ට හේන් වගාව ස්ථාපිත කර දෙන්නැයි රජයට ඉල්ලීම් කරමින්  සමුළුවක් පැවැත්වූ අතර සාම්ප්‍රදායික හේනක ඇති වැදගත්කම රාජ්‍ය නිලධාරින් වෙත හේන නිර්මාණය කරමින් ප්‍රදර්ශනය පවා සිදුකර තිබීම විශේෂත්වයකි.

මෙම ගම්මානවල ජීවත්වන ජනයා කුරක්කන් වී කවුපි බඩඉරිගු මෙනේරි ආදී ඉපැරැණි බෝග වර්ග හේන්වල වගා කරගෙන ආහාර රැස්කර ගෙන ජීවත් වූවෝ වෙති.

අදටද මෙම ජනතාව තම ගම්මානේ හේන් වගාව රජය තහනම් කිරීමෙන් පසුව කුරහන් ඇටයත් තල මෙනේරි ආදී ආහාර වර්ග ඉතා සීමිත ප්‍රමාණයක් වගාකර ගන්නා අතර එදා තමන් වගා කල ආහාර පිට ප්‍රදේශවලින් මිලදීගෙන සෝදා පිරිසුදු කොට පැකට් කරමින් අලෙවි කිරීම රැකියාව ලෙස සිදු කරමින් සිටින බව ගම්මු කියති .

රණමුරේ ගම්මානය මොරගහකන්ද හා කලුගග ජලාශ ඉදිකිරිම නිසා ලග්ගල ඉතිරිවූ එකම ඉපැරණි ගම්මානයද වේ .හිටපු ජනපති ගේ නියෝගයෙන් මේ අතීත ජනයාගේ හේනට  හෙන වැදුණු බව පෙන්වා දෙන ජනතාව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ රාවණා පරපුරේ සිට පැවත එන එකම ගම්මානය වන රණමුරේ ජනතාවට  හේන් වගාව සඳහා අවසරය ලබාදෙන ලෙසය .

ඒ අවශ්‍ය භූමි වෙන් කොට තිබණ නිසා තමන්ට කෘතිම පොහොර රසායනික පොහොර නොයොදා හේන තුළින් මෙරට ජනතාවගේ නිරෝගීතාවය ඇති කිරීමට අවශ්‍ය ආහාරපාන යම් මට්ටමකින් හෝ නිපදවා දීමට  හැකි බවය .එම නිසා තල මෙනේරි කුරක්කන් අබ එළවළු ආදී වගා කර ගැනීමට හේන නැවත ආදර්ශයක් ලෙස හෝ පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙසය.

මෙම හේන් වගාව තුළින් පරිසරය විනාශ වන බවට රාජ්‍ය නොවන සංවිධාන හිටපු ජනාධිපතිවරුන්ට සහ පරිසර අමාත්‍යවරුන්ට පෙන්වා දී ගමේ තිබුණු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශකොට දැමූ බව රණමුරේ වැසියෝ පෙන්වාදෙති .පෙරදා කිසිදු ලෙඩ රෝගයකින් තොරව ජීවත් වූයේ මිනිසුන් වන සතුන් ඉතා ආරක්ෂිතව සතුටෙන් ජීවත් වූ බව ද ඔවුහු පෙන්වා දෙති.

හේන නිසා පරිසර විනාශයක් නොවන බවද පෙන්වා දෙති .

වෙනදා කිසිදු තෙල් බෙහෙත් යොදා ගැනීමකින් තොරව වගා කළ තමුන්ට අද සිදුවී ඇත්තේ කුඩා පැල් අටවාගෙන කුඹුරු ඉඩම් වල බෝංචි වගා කිරීම බවත් බෝංචි සඳහා කෘමි නාශක පොහොර වර්ග විශාල වශයෙන් යෙදීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති. එම නිසා  රාවණා පරපුරේ සිට  පැවත එන තමන්ට හේන් වගාව ඉටුකරදීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකසා දෙන්නැයි ඔවූහු ඉල්ලීම් කරති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2020 11:41