March 28, 2024

මහනුවර ඛේදවාචකය - චමිල සහ අචලාගේ හදිසි වියෝව ගැන තැබූ facebook සටහන් කිහිපයක්

September 21, 2020

“අපි ගිය 6 වෙනිදා මේ photo එක ගත්තේ කොච්චර සතුටින්ද? මේ photo එක මේ විදියට upload කරන්න වෙයි කියල හිතුවේ නැ අයියේ, අක්කේ. හීනයක් වගේ. ඔය තුන්දෙනාට මේ වගේ විපතක් මතු කිසිම ආත්මෙක සිදුනොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!“

මහනුවර කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල අසල නිවෙසේ සිටි ඒ පුංචි පවුල අප හැරදා යළි නොඑන ගමන් ගොස් අවසාන ය. නමුත් ඔවුන් වෙනුවෙන් අදත් මිනිසුන් නොයෙක් සටහන් “මුහුණුපොතේ“ ඉතිරි ගොස් තිබීම විශේෂත්වයකි.

“හොඳ මිනිසුන් අපිව අතහැර යනු ඇත ... ඔබටත් මටත් එය පොදු වනු ඇත...
ලොවෙහි කිසිවක් සොබාදහමට ... අවනත නොවන කල්හි...
එක්ව ආ මඟ එක්ව යන්නට... පිනක් වී නම්...
ඔබට නිවනෙහි දොරටු විවරයි...“

මෙවැනි බොහෝ සටහන් මුහුණු පොතේ සැරිසරනු අපගේ නෙත් ගැටුණේ ඔවුන්ගේ හදිසි නික්ම යෑම මුළු මහත් සමාජයම සලිත කරවු පුවතක් බවට පත් ව ඇති හෙයිනි.

ඊයේ අලුයම 5 ට පමණ සිදුවු එම අවාසනාවන්ත සිදුවීමෙන් මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ ඔහුගේ බිරිඳ 32 හැවිරිදි අචලා ඒකනායක යන අඹුසැමි යුවළ හා ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්විය.

ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (21) දෙවන දිනටත් සිදුකිරීමට නියමිත අතර, ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දිනයේ මහනුවර මහා රෝහලේ සිදුකිරීමට නියමිතය.

මේ අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ඊයේ පස්වරුව වන තුරුම සිදුකළ අතර, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කටයුතු අද උදෑසන සිට සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.

ගොඩනැගිල්ල කඩා වැටීමේ සිදුවීම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ඊයේ දිනයේ ම පරීක්ෂණ ආරම්භ කළ අතර එම පරීක්ෂණ අද දිනයේ ද සිදුකිරීමට නියමිතය.

Rate this item
(5 votes)
Last modified on Monday, 21 September 2020 21:40