March 28, 2024

කප් එක උස්සන්න මම යන්න ඕනෑ - ඈපාසිංහ

* ඔබගේ නම?

 

ප්‍රේමසර ඈපාසිංහ

 

* මේක ටිකක් අමුතු නමක් නේද?

 

ඔව්. නිකම් අකුරු හතරක්. ප්‍රේ.ම.ස.ර කොල්ලුපිටියේ වාළුකාරාමාධිපති මාවිත්තර ශ්‍රී රේවත හාමුදුරුවෝ මගේ බාප්පා. අපි උන්වහන්සේට කිව්වේ ‘සාදු බාප්පා’ කියලා. මම ඉපදුණාම මගේ ජන්ම පත්‍රය බලලා උන්වහන්සේ කිව්වලු ප්‍රේ.ම.ස.ර යන අකුරු හතරෙන් ඕනෑමඅකුරකින් පටන්ගන්න නමක් තියන්න කියලා. ඒ වෙනුවට තාත්තා කරලා තියෙන්නේ ඒ අකුරු හතරම එකට එකතුකරලා මට ප්‍රේමසර කියලා නම තියපු එකයි.

 

* ඔබ උපන්නේ?

 

1937 ඔක්තෝබර් 5.

 

* ගම්පළාත කොහෙද?

 

තාත්තයි අම්මයි කැස්බෑව මාවිත්තර වුණාට මම ඉපදිලා තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාල භූමියේ. විශ්ව විද්‍යාලයක් ඇතුළේ ඉපදුණු ලෝකයේ එකම ළමයා ‍මම වෙන්නැති. තාත්තා වැඩ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ. එයා පරිපාලන ප්‍රධාන නිලධාරි වශයෙන් කටයුතු කළා.

 

තාත්තා විශ්ව විද්‍යාල භූමියේ ගොවිතැන් කළා. අපිට එළදෙනුන් හිටියා. මට මතකයි මම විශ්ව විද්‍යාල උප කුලපති සර් අයිවර් ජෙනිග්ස්ට කිරි වීදුරුවක් අරන් යනවා දිනපතාම. එතුමා මොනතරම් නිහතමානිද කියනවා නම් වීදුරුව හෝදලා අපේ ගෙදරටම ගෙනත් දීලයි යන්නේ.

 

* තාත්තගේ නම?

 

දොන් රනෝරිස් ඈපාසිංහ.

 

* එතකොට අම්මා?

 

හබරගමු රාලලාගේ පොඩිනෝනා පීරිස්.

 

* පවුලේ වෙන කවුද ඉන්නේ?

 

මම විතරයි. මට කලින් අයියලා හතරදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කිසි කෙනෙක් අවුරුද්දක්වත් ජීවත් වෙලා නැහැ. හතර දෙනාම වලිප්පුව හැදිලා මැරිලා. හොඳකට හරි නරකකට හරි ඉතුරු වුණේ මම විතරයි.

 

* ඔබ කොහෙටද ඉස්කෝලේ ගියේ?

 

තුන්වැනි ශ්‍රේණියට වෙනකම් විශාඛා විද්‍යාලයට ගියා. ඊට පස්සේ නාලන්දෙට ගියා.

 

* ක්‍රිකට්වලට උනන්දුව ඇතිවුණේ නාලන්දෙදි වෙන්න ඇති?

 

පොඩි කාලේ මම ක්‍රිකට් ගැහැව්ව කෙනෙක් නෙමෙයි. අපි කළේ මාර ගහක් යටට වෙලා මැච් බලපු එක. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ අහම්බෙන්. දවසක් අපේ නිවාසයේ දක්ෂ ක්‍රීඩක යසපාල දිසානායක පන්ති ගානේ ගිහින් ටීම් එකක් හොයනවා, හෙට තියෙන මැච් එකට. ඔහු කිව්වා කැමැති අය ඉන්නව නම් අත උස්සන්න කියලා. මං අත ඉස්සුවා. මාව තේරුණා. මැච් එක වෙලාවේ ඔහු මට කිව්වා ඔයාට තියෙන්නේ විකට් එක බේරගෙන ඉන්න මං ගහන්නම් කියලා. මුල්ම ඕවරයෙදි යසපාල බෝල හයටම එක ලකුණක්වත් ගත්තෙ නැහැ. ඊළඟට මගේ වාරේ. බෝලේ එනවා ගින්දර වගේ. බෝලේ බම්ප් වුණා. ගැහැව්වා හතරේ පාරක්. ඊළඟ බෝලෙට ‍ෆ්රන්ට් ෆුට් එකෙන් තව හතරක් ගැහැව්වා. තුන්වැනි බෝලෙට කවර් ඩ්‍රයිව් එකක් ගැහැව්වා. තව හතරක්. දැන් බෝල තුනටම ලකුණු දොළහයි. යසපාල බැට් එක කොටකොට ඉන්නවා. මිනිහටත් පුදුමයි. අපි ලකුණු 140 ක් ගැහැව්වා. එයින් 90 ක් ම ගැහැව්වේ මම. මැච් එක පරාදයි. ඒත් හයර් ස්කෝර් එක මගේ. පහුවැනිදා පන්තියේ ඉද්දි මට පණිවුඩයක් ආවා ක්‍රිකට් භාර ආචාර්ය හා පරිපාලක වුණු ටී. කන්දසාමි සර් ගෙන්. “මට උඹ ගැන හරි ආඩම්බරයි” කිව්වා. මාව ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගත්තා. මම තමයි ආරම්භක පිතිකරු හා විකට් රකින්නා. මුලින්ම තරග කළේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් එක්ක. තරගයෙන් පැරදුණත් මම එදා ලකුණු 50 ක් රැස්කළා. කන්දසාමි සර් දෙමළ. වේට්ටිය අඳින්නේ. එතුමා බුදුන් දැක නිවන් දකින්න ඕනැ.

 

* නාලන්දෙන් කෙළින්ම ඔබ විශ්ව විද්‍යාලයට ගියා ද?

 

ඔව්. මම ගියේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයට. ඊට කලින් මම ලේක්හවුස් එකේ වාර්තාකාරයෙක් විදියට වැඩකළා. පන්සීයක විතර පිරිසක් අතරින් වාර්තාකාර ධුරයට බඳවගත්තේ එවන්ස් කුරේවයි මාවයි විතරයි. මම අදටත් ලේක්හවුස් එකට ණයගැතියි. මගේ ජීවිතයේ යම් සාර්ථකත්වයක් තිබෙනව නම් ඒකට එක හේතුවක් ලේක්හවුස්. මම අදටත් වැඩි වශයෙන් ම ලියන්නේ ලේක්හවුස් පත්තරවලට විතරයි. මොකද මං කෙළෙහි ගුණ දන්න මනුස්සයෙක්.

 

* හැට ගණන්වල සීගිරි බිතු සිතුවම් විනාශ කරපු වෙලාවේ ඔබ නේද ඒක මුල්වරට වාර්තා කළේ?

 

ඔව්. එතකොට මං ගුරුවරයෙක්. උපාධිධාරයෙක් වශයෙන් මුල්ම පත්වීම ලැබුණේ සීගිරි විදුහලට. විදුහලක් කිව්වට ඒක එදා පොඩි අතුපැලක්. මට ළමයෙක් ඇවිදින් කිව්වා, සර් සීගිරියට තාර ගාලා කියලා. මම ගියා බලන්න. ඒක දැක්ක මුල්මකෙනා මම. එදා දැන් වගේ මොබයිල් ෆෝන් නැහැනේ. මම ඉක්මනින්ම සීගිරි රෙස්ට් හවුස් එකට ගිහින් ලේක්හවුස් එකට කෝල් එකක් අරන් නිවුස් එක දුන්නා. ඒ නිවුස් එක ගියේ ලේක්හවුස් පත්තරවල විතරයි. මොකද මං කට්ට වැඩක් කළා. ඒක නරක වැඩක්. මං නිවුස් එක බ්ලොක් කළා. එදා හවසම දයාසේන ගුණසිංහයි ඡායාරූප ශිල්පි වොලි පෙරේරායි ආවා සීගිරියට. මම ඒ වෑන් එකේම නැඟිලා කොළඹ ඇවිත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මුණගැහිලා පත්තරේට ඒ ගැන සම්මුඛ සාකච්ඡාවකුත් කළා. මං එදා තමයි දැක්කේ පරණවිතාන මහත්තයා අඬනවා.

 

* ඇත්තටම සීගිරි බිතු සිතුවම්වලට තාර ගෑවේ කවුද?

 

කතා කීපයක්ම තියෙනවා. ආසන්නම කතාව තමයි සීගිරියට අවට තිබුණු පොඩි පොඩි කඩ වහන්න නියෝගයක් පැනවුණා. ඒ තරහවට මේක කළයි කියලා. හැබැයි අදටත් ඒක අබිරහසක්.

 

* ඔබ ගුවන් විදුලියට සම්බන්ධ වුණේ කොහොමද?

 

පත්තරේ තිබුණා සහන නිවේදකයන් ඉල්ලලා. මමත් අයැදුම්පතක් දැම්මා. මාව තේරුණා. එකල නන්දා ජයමාන්න තමයි ‘සන්ධ්‍යා සේවය'භාරව හිටියේ. ඇත්තටම එතුමිය තමයි මාව ගුවන්විදුලියට හඳුන්වල දුන්නේ. පාලිත පෙරේරා කියනවා එයා හඳුන්වලා දුන්නා කියලා. එයා හඳුන්වල දුන්නේ නැහැ. එයා නාලන්දේ ඉගෙන ගත්ත කිව්වට මං එයාව හඳුනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. නන්දා ජයමාන්න මට සතියකට වතාවක් විනාඩි 15 ක් දුන්නා ක්‍රීඩා තොරතුරු ඉදිරිපත් කරන්න.

 

* ඇයි දිගටම ගුවන්විදුලියේ නොහිටියේ?

 

ගුවන්විදුලියේ දි මාව ස්ථිර කළා. ඒත් එක්කම විශ්ව විද්‍යාලයට යන්න ලියුම ලැබුණා. එවකට ගුවන්විදුලියේ ප්‍රධානියා වුණේ වින්සන්ට් පණ්ඩිත. මං එතුමා හම්බවෙලා උපදේශයක් පැතුවා, මොකක්ද මං කරන්නේ කියලා. එතුමා කිව්වා මෙතැන ඉන්න එපා විශ්ව විද්‍යාලයට යන්න කියලා. ගිහින් උපාධිය අරන් මං මේ ඉන්න පුටුවටම එන්න කියලා. ඒ උපදෙසට අනුව මං විශ්ව විද්‍යාලයට ගියා.

 

* එතකොට ක්‍රිකට් විස්තර විචාරයට යොමුවුණේ?

 

නන්දා ජයමාන්න මට ලිව් විජේමාන්න මහත්තයා හඳුන්වලා දුන්නා. ඔහු තමයි ක්‍රිකට් විස්තර විචාරයට මට අවස්ථාවක් සලසලා දුන්නේ. 1971 දී රාජකීය - ශාන්ත ‍තෝමස් ක්‍රිකට් තරගය තමයි මම මුලින්ම ආවරණය කළේ.

 

* ක්‍රිකට් විස්තර විචාරයෙන් ඔබ ලබාගත්තු ලොකුම දේ මොකක්ද?

 

මට රට රාජ්ජවල ඇවිදින්න ලැබුණා. බටහිර ඉන්දීය කොදෙව් දූපත් හැරුණු‍කොට ටෙස්ට් ගහන හැම රටකටම වගෙ මං ගිහින් තිබෙනවා.

 

* මෙවර විස්සයි 20 ‍ලෝක කුසලාන තරගාවලියත් ඔබ ආවරණය කළා.

 

අපේ රටට ලෝක කුසලාන ලැබුණු අවස්ථා දෙකේදීම මම විස්තර විචාරයේ යෙදුණා. ඒක සුවිශේෂ භාග්‍යයක්. මං හන්දියට යනකොට ත්‍රීවිල් ළමයි කියනවා ඈපාසිංහ මහත්තයම යන්න ඕනැ කප් එක උස්සන්න කියලා.

 

* මෙවර ජයග්‍රහණය ගැන මොනවද ඔබට කියන්න පුළුවන්?

 

කණ්ඩායම් හැඟීමෙන් සෙල්ලම් කරපු හින්දා තමයි අපි දින්නේ. ඒ කණ්ඩායම් හැඟීම මෙවර බොහෝම ඉහළ මට්ටමක තිබුණා. අනෙක මේක ඓතිහාසික ජයග්‍රහණයක්. ඔබ දන්නවා අපේ රටට විරුද්ධව නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. එංගලන්තය පවා ලොකු හඬක් නඟන මේ වෙලාවේ නෙල්සන් මැන්ඩෙලා වගේ අපි ඔප්පු කරලා තියෙනවා මේක එක රටක්, එක ජාතියක් කියලා. මං මේ කතා කරන්නේ දේශපාලනය නෙමෙයි. මං දේශපාලනඥයන් ආශ්‍රය කරන්නෙ නැහැ. මං ඔය කවුරුන් පස්සෙවත් යන කෙනෙක් නෙමෙයි.

 

* කවුද ඔබේ ක්‍රිකට් වීරයෝ?

 

ජාත්‍යන්තරව ගත්තොත් දොන් බ්‍රැඩ්මන්, සචින් තෙන්ඩුල්කාර්. අපේ රටෙන් සංගක්කාර, මහේල සඳහන් කරන්න පුළුවන්. ඒ දෙන්නම අපේ රටට ලොකු ආඩම්බරයක් නේ.

 

* ක්‍රිකට් හැරුණු‍කොට ඔබ ප්‍රිය කරන වෙනත් ක්‍රීඩාවක් තියෙනවද?

 

මම කාලයක් ටෙනිස් ගැහැව්වා. ඔබ දන්නවද මම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා එක්කත් ටෙනිස් ගහලා තියෙනවා. ඔහු නියම මහත්මයෙක්. කවදාක්වත් දේශපාලනය ගැන කතා කරලා නැහැ. මට ඡන්දේ දීපන් කියලා කියලත් නැහැ.

 

* ඔබේ ගම්භීර කටහඬ කොහෙන් ලැබුණු එකක් ද?

 

මම හැමදාම උදේට විනාඩි 45 ක් විතර පිරිත් කියනවා. අදත් කිව්වා. ශබ්ද උච්චාරණයෙදි පිරිත් ගායනය ඉතා වැදගත්.

 

* ඔබ කාලයක් බැංකු ක්ෂේත්‍රයේත් ඉහළ තනතුරු දැරුවා?

 

ලංකා බැංකුවේ වැඩකළා. එහි අනුග්‍රහයෙන් මා ඉදිරිපත් කළ ‘ආරාධනා ස්වර දැහැන’ ගුවන්විදුලි සංගීතමය වැඩසටහන අතිශය ජනප්‍රිය වුණා. එතෙක් එක්තරා පන්තියක් පමණක් ගනුදෙනු කළ ලංකා බැංකුවට පහළ මැදපන්තිය කිට්ටු වුණේ ඒ වැඩසටහනේ ප්‍රතිඵලයක් වශයෙන්.

 

මා සම්පත් බැංකුවේ ආරම්භක සාමාජිකයෙක්. අලෙවිකරණය ගැන මට කිසියම් විශේෂඥ භාවයක් තිබෙනවා. මා ඒ ක්ෂේත්‍රයේ උපදේශකවරයෙක් වශයෙන් ද කටයුතු කරනවා.

 

* මෙච්චර රටට සේවය කරපු ඔබට මොනවද පෙරළා ලැබිලා තියෙන්නේ?

 

ආණ්ඩුවෙන් දේවල් මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට කෝට්ටේ කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව ගෞරව නාමයකින් පිදුම් ලැබුවා. ඒ ගිය අවුරුද්දේ මගේ 75 වැනි උපන් දිනය වෙනුවෙන්. මට ඒ ඇති.

 

* ඔබේ බිරියගේ නම?

 

ස්වර්ණා සමරරත්න. වෘත්තියෙන් ගුරුවරියක්.

 

* දරුවන්?

 

පුතා භාග්‍ය. එයා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දුව අප්සරා. එයා ස්කොට්ලන්තයේ ඉන්නේ. එකක් තියෙන්නේ අපි දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඒත් පොත් ගුල්ලන් කළේ නැහැ. ක්‍රීඩාවටත් නැඹුරු කළා. පොත් ගුල්ලන් කියන්නේ ආත්මාර්ථකාමියෝ. කුහකයෝ. සාමූහික හැඟීම්, කණ්ඩායම් හැඟීම් ඇති කරවන්නේ ක්‍රීඩාවෙන්. ඒ අයට ජය - පැරදුම දෙකම එකසේ දරාගන්න පුළුවන්.

 

* ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවද?

 

විශ්වාස කරනවා. මං ගැන කියපු දේවල් හැබෑ වෙලත් තිබෙනවා. හැබැයි මං ඒකට වහල්වෙලා නැහැ.

 

* ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

 

මම තුන් වතාවක් මරණයෙන් බේරිලා තියෙනවා. ඒ අවස්ථා තුනේදීම මං ළඟ හිටියා නම් බෝම්බයකට අහුවෙනවා. මම හිතන්නේ පිරිත්වල ලොකු බලයක් තියෙනවා. මම ලෝකයේ කොහේ රටකට ගියත් මගෙ සාක්කුවේ පිරිත් පොත තියෙනවා.

 

* පිරිත් පොත සාක්කුවේ තිබුණට අඩියක් පුඩියක් එහෙම ගහනවා ඇති?

 

මට බොරුවට කියන්න පුළුවන් බොන්නෙ නැහැ කියලා. ඒත් මං ඉඳලා හිටලා බොනවා. හැබැයි තැන්තැන්වලට ගිහිං, ක්ලබ් ගාණේ ගිහිං බොන්නෙ නැහැ.

 

(සුනිල් මිහිඳුකුල පුවත්පතකට කරන ලද සංවාද සටහනකි )

 

Rate this item
(0 votes)
Last modified on Monday, 21 April 2014 14:08