April 18, 2024

ලෝක කුසලානය විදෙස්ගත ලාංකිකයන්ගේ ඇසින්


ක්‍රිකට් අපිට සෙල්ලමක් වුනේ ඉස්කෝලේ යන කාලේ පුංචි පන්තිවලදී ඉඳන්මයි. පස්සේ ටිකක් ලොකු වෙනකොට, බිග් මැච් බහින කොට ක්‍රිකට් අපිට ෆැෂන් එකක් වෙනවා. බිග් මැච් කාලෙට ආනන්දෙ නාලන්දෙ කොඩි ඔතාගෙන පුතය වගේ ස්කූල් බස් එකේ යනකොට අහල පහල බාලිකාවො ඇහිපිල්ලන් නොගා අපි දිහා බලං ඉන්නකොට මාරම මාර සිඟිති ආතල් එකක් ඇඟට එන්න ගත්තා.

තව ටිකක් ලොකු වෙලා ශිෂ්‍ය නායක තනතුරු දරාගෙන බිග් මැච් ඩියුටි බහින්නෙ හරියට රටක් රාජ්‍යයක් දින ගත්ත හෙන වැඩකරුවෙක් වගේ. පොඩි එවුන්ට පකුං දාගෙන ඩියුටිය හරියටම ඉෂ්ඨ සිද්ද කරන්න ලොකු ඇම්මක් එතකොට තිබුණ.

ඒ කාලෙ ලංකාවට ටෙස්ට් තත්වය ලැබිල බොහොම ටික කාළයක් තමා ගත වෙලා තිබුණෙ. නාලන්දෙන් බිහි වෙච්ච විශිෂ්ඨතම ක්‍රීඩකයෙක් ලංකාවෙ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් නායකය වෙලා හිටිය. ඒ බන්දුල වර්ණපුර. 

ඉස්කෝලෙ තිබුණු බොහොමයක් උත්සව වල බන්දුල වර්ණපුර, අනුර රණසිංහ, ලලිත් කළුපෙරුම, අජිත් ද සිල්වා, හේමන්ත දේවප්‍රිය වගේ ඒ කාලෙ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරපු නාලන්දා පුතුන් අපිට දකින්නට කතා කරන්නට නිතර මුණගැහෙන්නට ලැබුණා. ඒ වගේමයි ආනන්දයේ සිදත් වෙත්තමුණි, මිත්‍ර වෙත්තමුණි, අර්ජුණ රණතුංග, බ්‍රෙන්ඩන් කුරුප්පු වගේ විශිෂ්ඨයින් අපේ උත්සව වල නිතර දකින්නට ලැබුණා.

දෙවැනි පරපුර ආරම්භ වෙන්නේ රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර් ධර්මසේන, මහේළ ජයවර්ධන ඇතුළු ක්‍රිකට් ලොව දිග් විජය කළ නාලන්දා පුතුන් ගෙන්. 

පොඩි කාලෙ සෙල්ලමක් වෙලා, පසු කාලෙ ෆැෂන් එකක් වෙලා ඊටත් පස්සෙ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් හැටියට අපේ ශරීර වලට බද්ධ වෙන්නෙ 96' ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සෙ.
ඉස්සර ලංකාවෙ ප්‍රධාන පෙළේ පාසල් වලට සහ ක්‍රීඩා සමාජ වලට වෙන් වෙලා තිබුණු ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය මනුස්සයන්ගේ ලේ නහර වළට බද්ධ වෙන්නෙ ඒ ජයග්‍රහණයත් එක්කයි. අර්ජුන, අරවින්ද, රොෂාන්, සනා, කළු, ගුරා, හෂාන්, මුරලි, වාස්, උනන්දුවා අපි හැමෝගෙම සමීපතමයින් වෙන්නෙ ඒ කාළෙ.

ඔන්න බිග් මැච් දවස් වලට පාසල් කොඩි ඔතාන පාරවල් ගානෙ සතුටු වෙන කොල්ලන්ට බැන බැන හිටපු ගෙවල් වල උදවිය වගේම කඩ පිළේ බස් පොළේ උදවියත් ක්‍රිකට් ගැන කතා කරන්න, ක්‍රිකට් ඉගෙන ගන්න, අදහන්න ගත්තෙ ඔය කාළෙ. 

එතැන් පටන් ඊයේ දවස දක්වා අපි දහ අට අවුරුද්දක් බලං හිටියා ලෝක කුසලානයක් දිනා ගන්නකම්.

පහුගිය ලෝක කුසලාන ගණනාවකම අවසන් තරඟය දක්වා ආවත් ඒ හැම අවසන් තරඟයක්ම ඉතාම අවාසනාවන්ත විදිහට අපි පරාජය වුනා.

ක්‍රිකට් උන්මාදයෙන් පෙළුනු, ක්‍රිකට් ආගමක් කර ගත්තු අපි ඒ හැම පරාජයකදීම කඳුළු සැළුවා. දුක් වුනා. ක්‍රීඩකියින් හා අමනාප වුනා. කේන්ති ගත්තා.

ඒ හැම දෙයක්ම කළේ සුද්දගෙන් අපිට ලැබුණු මේ සොඳුරු දායාදයට තියෙන ආදරේට.
සුද්දන්ගෙන් ඉගෙන ගෙන සුද්දන්ටම ගහන්න තියෙන එකම විශ්වාසදායී ක්‍රමය තමා ක්‍රිකට්. ඒ හින්දා මේක හරි මරු ක්‍රීඩාවක්. අධිරාජ්‍යවාදීන්ට පොරි හැලෙන්න ගහන්න පුලුවන් ක්‍රමවේදයක්.

මේ විච්චූර්ණ සේරම ලියැවුනේ ඊයේ තරඟය හා ඒ පැය දෙකේ අපේ ක්‍රියා කාරකම් පිළිබඳව පුංචි පැහැදිළි කිරීමක් කරන්න උවමනා හින්දයි.

එක බහුස්‍රැතයෙක් අපේ මේ හැසිරීම හාස්‍යයට ලක් කරල සටහනක් ලියල තිබුණ. තව බටු නෝන කෙනෙක් ඒකට හූමිටි අල්ලල තිබුණ. ඒකයි.

ඊයේ ඉරිදා දවස, ලංකාවට යුරෝපයට නිවාඩු දවසක් වුනාට ලක්ෂ ගණනක් විදේශ ශ්‍රමිකයින්ට සතියේ සාමාන්‍ය රාජකාරී දවසක්. නාඩි වැටෙනවා නම්, වැඩට යන්න ඕන. ඒක තමයි මේ රටවල් වල නීතිය. බොහොමයක් අය ඒ හින්ද මේ කාළය තුල හිටියෙ රාජකාරි කරන සේවා ස්ථාන වල. රූපවාහිනී, ගුවන් විදුළි, අන්තර්ජාල පහසුකම් නැති තැන් වල හිටපු හැමෝම තමන්ගෙ දුරකථන වලින් තමා ෆේස් බුක් ඇවිත්, එහෙම නැත්නම් වෙන සමාජ ජාල වලට පිවිසිලා මැච් එකේ තොරතුරු දැන ගත්තෙ.

ඊයේ ඒ පැය ගණනම මම ගත කළේ ඔවුන් වෙනුවෙනුයි. ඕවරයෙන් ඕවරය ඔවුන් දැනුවත් කරමින් පිටියේ සිදුවන දේවල්, උපහාසයෙන් හාස්‍යයෙන් ඉදිරිපත් කරමින් ලියමින්, ඉතාම සතුටින් ඔබත්තෙක්ක මේ සොඳුරු ජයග්‍රහණය සමරන්නට අපට හැකි වුනා.

ඒ හැම පෝස්ට් එකකටම ක්ෂ්ණයකින් ඔබෙන් ලැබුණු ප්‍රතිචාර මට මහත් ආනන්දයක් වුනා. උදේ අවදි වෙද්දි ඔබේ ස්තූති කිරීම්, ප්‍රතිචාර 78 ක් මැසේජ් බොක්ස් එකේ එකතු වෙලා තිබුණ.

මැච් කිව්වම සමහර අයට ප්‍රධාන වෙන්නෙ බයිට් එකයි, බෝතලෙයි, යාළුවො සෙට් එකයි. නමුත් අපිට ඊට වඩා වගකීමක් තිබුණ මිනිස්සු දැනුවත් කරන්න. සේවා ස්ථාන වලට කොටු වෙලා හිටපු අපේ විදේශගත සෝයුරු සොයුරියන්ට පුංචි හරි සතුටක් ලබා දෙන්න. 

පුළුවන් උපරිමයෙන් ඒ වැඩේ සිදු කළා. අපේ නාරද අයියාගේ සිත් ටීවී වැනි වෙබ් නාළිකා ඒ හා සමාන හා ඊටත් වැඩි මෙහෙයක් මේ ලස්සණ අත්දැකීම විඳ ගන්නට අපේ රට ගිය ඇත්තන්ට ලබා දුන්නා.

අපේ ඒ ව්‍යායාමය හින්දා මෙරට පිටරට හැමෝම එකම වෙලාවක එකම අරමුණක් සඳහා අප්‍රමාණ සතුටක් භුක්ති වින්දා. ඒක අපට මහත් ආනන්දයක්.

එනිසා ඔය කවුරු මොනා කිව්වත් අපේ එවුන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හරිය ෆේස් බුක් එකෙන් හරි කරන්න පසු බට නොවෙන බව කිව යුතුමයි.

මේකෙන් ප්‍රයෝජනයක් ගත්තු සතුටු වෙච්ච මිනිස්සු දිහා බලල අපි වින්ද සතුට ජීවිතේ කිසිදාක නොලැබුණු අළුත්ම විදිහක ආත්ම තෘප්තියක්. ඒකට ඉරිසියා කරන්නෙපා. අකමැති යමක් කෙනෙකුගෙන් සිදු වෙනවා නම් එයාව අන්ෆ්‍රෙන්ඩ් කරල තමන්ගෙ බමුණු ආතල් එක ගෙදර ඉඳන් ගන්න එකයි ඒ මහත්තුරුන්ට නෝනලාට කරන්න පුළුවන් හොඳම වැඩේ.


(සුදේශ් කරුණාතිලක )

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 April 2014 13:19