April 20, 2024

ශ්‍රී ලංකාව අභිබවා ඉන්දියාව පෙරට

November 10, 2014
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අහමදාබාද්හි පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මේ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඉන්දියාව සමත් වී සිටියි.ඊයේ (6දා) පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 274ක්
 
ලැබූ අතර, ඉන්දියාව පන්දුවාර 44.3කදී කඩුලු 4ට ලකුණු 275ක් ලබමින් ජය ගත්තේය.ඉන්දියාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ අම්බති රයිදු පන්දු 118කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සහිතව නොදැවී ලකුණු 121ක් ලබමින් තරගයේ වීරයා සම්මාන දිනා ගත්තේය.
 
ඔහුට අනගි සහයක් ලබාදුන් ෂිකර් ධවාන් පන්දු 80කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 79ක් ලබාගත් අතර, නායක විරාත් කෝලි පන්දු 44කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 46ක් වාර්තා කළේය.ප්‍රථම තරගයේදී මෙන්ම මෙම තරගයේදීද ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ප්‍රහාරයකට ලක්වූ අතර, සුරාජ් රන්දීව්ගේ පන්දුවාර 10ට ලකුණු 66ක්ද, සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවාර 7.3ට ලකුණු 53ක්ද ඉන්දීය පිතිකරුවන් ලබාගෙන තිබුණි.
 
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 101කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 92ක් ලබා ගත්තේය.
 
 
සංගා සහ මැතිව්ස් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 90ක සම්බන්ධතාවයක් පැවැති අතර, සංගක්කාර පන්දු 86කදී හතරේ පහර 4ක් සහිතව ලකුණු 61ක් ලබා ගත්තේය.ඇන්ජලෝ මැතිව්ස් සහ ධම්මික ප්‍රසාද් අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 54ක සම්බන්ධතාවයක් වාර්තා වූ අතර, ප්‍රසාද් නොදැවී ලකුණු 30ක් ලබා තිබුණි.ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ උමේෂ් යදාව්, ඇෂ්වින් සහ අක්ෂා පටෙල් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
Rate this item
(0 votes)
Last modified on Monday, 10 November 2014 12:59