March 28, 2024

ශ්‍රී ලංකා විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙදෙනාගේ සමුගැන්ම අදයි

අද(06) පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට නියමිතය.

ඒ අනුව මෙම අවසන් මහා තරගය මහේල ජයවර්ධනට සහ කුමාර් සංගක්කාරට අතිශය වැදගත් තරගයක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමටද තීරණාත්මක තරඟයකි.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය ආරම්භවීමටත් පෙර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමු ගන්නා බව මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නිවේදනය කළේය.

මේ වනවිට කුමාර් සංගක්කාර විස්සයි 20 තරග 55කට ක්‍රීඩා කර ලකුණු ගණන 1330ක් ලබා තිබේ. ඊට අර්ධ ශතක 7ක් ඇතුලත් වන අතර ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු ගණන 78කි.

මහේල ජයවර්ධන විස්සයි 20 තරග 54කට ක්‍රීඩා කර ලකුණු 1469ක් ලබා ගෙන ඇත. ඊට අර්ධ ශතක 9ක් සහ එක් ශතකයක් ඇතුලත් වන අතර ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු ගණන 100කි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 April 2014 15:24