March 29, 2024

මහේල SSC ක්‍රිඩා සමාජයේ කමිටු සභාපති ධුරයට

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස තේරී පත් වී තිබේ.

ඒ එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.

වසර 12ක් SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස කටයුතු කළේ, සමන්ත දොඩන්වල මහතායි.

තම ක්‍රීඩා සමාජයේම තරුණයෙකුට එහි කටයුතු පවත්වා ගෙන යෑමට අවස්ථාව ලබා දීම සඳහා ඔහු ධූරයෙන් ඉවත්මෙන් අනතුරුව මහේල ජයවර්ධන මහතා ඒ සඳහා පත් කර තිබේ.

මහේල ජයවර්ධන 1997 වසරේදී SSC ක්‍රීඩා සමාජය සමග එක් වූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදීයි.

අනතුරුව එම වසරේදීම එක්දින ජාත්‍යන්තර වරම් දිනූ ඔහු තරග 448කදී ලකුණු 12650ක් රැස් කළ අතර ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 77ක් ඇතුළත් විය.

ටෙස්ට් තරග 149කදී ශතක 34ක් සහ අර්ධ ශතක 50ක්ද සහිතව ලකුණු 11814ක් රැස් කළ මහේල පන්දුවාර 20යි 20 තරග බිමේද ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ට ක්‍රීඩකයෙකි.

ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ලෝක කුසලාන අවසන් තරගයක් දක්වා කණ්ඩායම මෙහෙයවා ඇති ජයවර්ධන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ, ජාත්‍යන්තර තරග බිමට සමු දීමෙන් අනතුරුවයි.

අවස්ථා ගණනාවකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා විවිධ ආකාරයෙන් දායකත්වය දී ඇති මහේල සෘජුව අදහස් දක්වන්නෙකි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු පළ කළ අදහස් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.

 

 

Rate this item
(0 votes)