March 29, 2024

"දස්කම් දක්වන්න කොරෝනා බාධාවක් නෙමෙයි" - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත්

ලොව පුරා පැතිරෙමින් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස 2 කට ආසන්න කාලයක් පුහුණුවීම්වල නිරත වීමේ හැකියාව නොමැති වුවත් යළිත් සිය සුපුරුදු දක්ෂතාවයන් වලට අවතීර්ණවීමේ හැකියාව වෘත්තීය ක්‍රීඩකයින්ට තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සමඟ සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ටෙස්ට් සහ එක්දින දෙඅංශයේ නායකයා එවැනි තත්ත්වයකට මුහුණදීම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයකුට ජානගතව තිබිය යුතු බවද සඳහන් කර සිටියේය.

“ක්‍රීඩාවේ නියැළෙද්දී ක්‍රීඩකයකුට හොඳ කාල වලදී වගේම නරක කාලවලදීත් කණ්ඩායමේ රැඳී සිටීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් කොවිඩ් 19 වැනි වසංගත වලදී ආකාර ගණනාවකින් ක්‍රීඩාව වෙනස් කරනවා කියන තැනයි මම ඉන්නේ. නමුත් ක්‍රීඩාවෙන් ඉහළට පැමිණීමේදී වෘත්තීයභාවය කියන්නේ ඔහුගේ ජානවලින් පැමිණිය යුතු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදි” යැයි කරුණාරත්න පවසයි.

රෝගී වසංගතය පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය විවෘත වන දිනයක් තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් එළැඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල බලධාරීහු බලාපොරොත්තුවෙන් පසුවෙති. කෙසේ වෙතත් ඉදිරි ක්‍රිකට් කාල සටහන සඳහා සූදානම් වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු කළමනාකාරීත්වයද පුහුණුවීම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටිති.

Rate this item
(0 votes)