April 25, 2024

කුලේ මගේ අවසන් තරගය බලන්න එන්න - මාලි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තමන්ට ඉහළ පිළිගැනීමක් හිමි කර දීමට නුවන් කුලසේකර විශාල දායකත්වයක් ලබා දුන් බවත් එළඹෙන 26 වැනිදා සිය අවසන් එක්දින තරගය නැරඹීමට නුවන් කුලසේකරට ඇරයුම් කර සිටින බවත් ලසිත් මාලිංග පවසයි.

නුවන් කුලසේකර ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් මේ අදහස් පළ කළේය.

ඊයේ (24) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර මහතා පවසා සිටියේ, තමා ජාත්‍යන්තර ක්‍රිඩා පිටියට සමු දීමට තීරණය කළ බවයි.

ලසිත් මාලිග ලෝක කුසලානය අතරතුර දී විශේෂ ප්‍රකාශයක් කළ බවත්, එහිදී මාලිංග ලංකාවේ පැවැත්වෙන එක්දින තරගයකින් සමුගන්න කැමතියි කියා පවසා සිටි බව ද කුලසේකර එහිදී පැවසීය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා විසින් සලකා බැලීමක් සිදු කරන්නැයි ක්‍රිකට් ආයතනයට දැන්වු බව ද කියා සිටි නුවන් කුලසේකර මහතා, ක්‍රිඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් ගැන කථා කිරීම ඉතා හොඳ ගුණාංගයක් බවත් මාලිංග මෙවැනි ක්‍රියාවක් සිදුකල පළමු අවස්ථාව මෙය නොවන බව ද කියා සිටියේය.

මෙයට ප්‍රතිචාර දක්වමින් මාලිංග සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ, නුවන් කුලසේකර නිල වශයෙන් ඊයේ දිනයේ දී ක්‍රීඩාවෙන් සමු ගත් බවත්, තමා සමඟ වසර 13 ක පමණ කාලයක් ඔහු එක්ව ක්‍රිඩා කළ බවත්ය.

ජාත්‍යන්තර ක්‍රිකට්වලදී විකට් එකකින් පන්දු යවන්නෙක් ලෙස තමාව හඳුනන බව පැවසු මාලිංග, එයට සියයට 90 ක සහය හිමි වුයේ නුවන් කුලසේකරගෙන් බව ද පැවසීය.

ඒ සම්බන්ධයෙන් මාලිංග විසින් නුවන් කුලසේකරට ස්තූතිය පළ කර සිටියේය.

ක්‍රිඩාවෙන් සමුගැනීම දක්වා තමාට පැමිණීමට නොහැකි වු බවද පැවසු මාලිංග පුහුණුවීම් සඳහා සහභාගී වී සිටිම හේතුවෙන් නුවන් කුලසේකරගේ සමුගැනීමට එක් වීමට නොහැකි වු බව ද පැවසීය.

2014 ලෝක කුසලාන තරලාවලියේ දී අවසන් පන්දු වාර 4 යවන්න තමා හා නුවන් කුලාසේකර පුහුණු වීම් කරපු ආකාරය, සැලසුම් හදපු හැටි මතක් කර සිටි මාලිංග “අපි දෙන්නා අලුත්ම කලාවක් හඳුනාව දුන්නා“ යනුවෙන් ද සඳහන් කළේය.

තමා මේ මස 26 වන දින සමුගන්නා බවත්, “අපි දෙන්නාම එකම කාලේ ඇවිත් එකම කාලේ යන“ බව ද පැවසු මාලිංග, කුලසේකර ප්‍රේක්ෂකයෙක් ලෙස හෝ සමුගැනීමේ තරගයට එක්වෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

“අපි දෙන්නාගේ කාලේ ඉවරයි“, කුලේට ගොඩක් ස්තූතියි“, යැයි ඉතා හැඟුම්බරව පැවසු මාලිංග ඉදිරියේ දී කුලසේකර පුහුණුකරුවෙක් ලෙස හෝ එක්වෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

Rate this item
(0 votes)