March 29, 2024

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක තරගය අද පැවැත්වේ.

ඒ, එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ය.
 
අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ⁣මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
 
ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායමට මෙහි ජයග්‍රහණය වැදගත් නොවන්නේ ඔවුන් මේ වනවිටත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වී තිබීම හේතුවෙනි.
 
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය මෙයයි.
 
තරගාවලියේ තරග 6 කට මුහුණ දුන් ශ්‍රී ලංකාව ඉන් තරග 2 ක් ජයගෙන තව ත් තරග 2 ක් පරාජය වූ අතර අනෙක් තරග 2 වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු විය.
 
ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන් 7 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 6 ක් ද සමගිනි.
 
අද තරගය පැවැත්වෙන රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ කිසිදු තරගයක් පරාජය වී නැත.
 
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේ, ජයග්‍රහණ දෙකක් ලබා ශක්තිමත් මානසික මට්ටමක සිටින තම කණ්ඩායමට අද තරගය ජය ගැනීම සඳහා අවස්ථාවක් පවතින බවයි.
 
එංගලන්තයට එරෙහි තරගය ජයගත් නමුත් එහිදී තම පිතිකරුවන් උපරිම දක්ෂතා අතරට නොපැමිණි බව ඔහු පෙන්වා දුන්නේ ය.
 
කෙසේ නමුත් ශක්තිමත් පන්දු යැවීමේ බලඇණියක් තමන් සතු බවට හතුරුසිංහ මහතා පැවසුවේ ය.
 
මේ අතර විදෙස් වාර්තා සඳහන් කළේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බැවින් ඔහු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි.
 
මේ අතර ප්‍රතිවාදී දකුණු අප්‍රිකාවට මේවන විටත් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබේ.
 
ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට පත්ව ඇත්තේ සහභාගී වූ තරග 7න් එක් තරගයක් පමණක් ජය ගනිමිනි.
 
මේ අතර දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ජේ.පී ඩුමිනි පැවසුවේ, අද දිනයේදී තම කණ්ඩායමට වැඩි පීඩනයක් නොමැති නිසා සැහැල්ලු මනසින් යුතුව තරගයට මුහුණ දෙන බවයි.
 
තම කණ්ඩායමේ සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
 
අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.
Rate this item
(0 votes)