April 24, 2024

මාලිංග නිල නොලත් ’යෝකර් රජු’ වෙයි

එක්දින ක්‍රිකට් පිටියේ පසුගිය වසර 09ක කාලය තුළ වැඩිම යෝකර් පන්දු යැවූ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමත් වී ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බලඇණියේ ප්‍රබලම සාමාජිකයා වූ මාලිංග, 2010 වර්ෂයේ පටන් මේ දක්වා අන්තර්ජාතික  එක්දින පිටියේ යෝකර් පන්දු 872ක් යොමු කර ඇත.

එහි විශේෂත්වය වන්නේ අනෙක් කිසිදු පන්දු යවන්නෙකු පසුගිය වසර 09 පුරාවට යෝකර් පන්දු 350 සීමාව ඉක්මවීමට අසමත් වීමයි.

මෙහි දෙවැනි ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් රැඳී සිටින අතර ඔහු යෝකර් පන්දු 330ක් යොමු කොට ඇත. නවසීලන්තයේ ටිම් සවුති යෝකර් පන්දු 328ක් යොමු කරමින් මෙහි තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් දක්ෂ පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර මෙහි සිව්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ පන්දු 288ක් යොමු කරමිනි.

මෙවර ලෝක කුසලානයේදී නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධානම පන්දු යවන්නා වූ ට්‍රෙන්ට් බෝල්ට් මෙම සටහනේ 05 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ යෝකර් පන්දු 233ක් එල්ල කරමිනි.

Rate this item
(0 votes)