April 23, 2024

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් පූර්ව සටනට

සත්කාරකයන්ගේ ලෝක කුසලාන ගමන්මග අවදානමකට ඇද දමමින් ලෝක කුසලාන තරගාවලියේ 32 වැනි තරගය ලෙස ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (25) පැවැති තරගයෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 64ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමටද ඔස්ට්‍රේලියාවට අවස්ථාව උදාවිය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 286ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 44.4කදී සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 221ක් පමණි. එංගලන්ත ගෞරවය බේරා ගැනීම සඳහා හුදෙකලා සටනක නිරත වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 89ක් රැස්කිරීම හැරෙන්නට වෙනත් කිසිදු එංගලන්ත පිතිකරුවෙකුට කණ්ඩායමේ ජයග්‍රහණයට අවැසි ඉනිමක් ක්‍රීඩා කළ නොහැකි විය.

ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය තහවුරු කළ ජේසන් බෙහ්රෙන්ඩ්‍රොෆ් කඩුලු 05ක් දවාළු අතර, එය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ එක්දින තරගයක පන්දු යවන්නෙකු දැක්වූ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරට එක්විය. මෙහි වාර්තාව ඔස්ට්‍රේලියාවේම බ්‍රේට් ලී (5/41/ එංගලන්තයට එරෙහිව 2005) සතුවේ. මිචෙල් ස්ටාක්ද ඔස්ට්‍රේලියානුවන් හට අත්‍යවශ්‍ය කඩුලු 04ක් බිඳහෙළමින් අගනා පන්දු යැවීමක නිතර විය.

තරගාවලිය ආරම්භවන තෙක් එංගලන්තය සිය රටේදී එක්දින තරග 20කදී හඹා ගොස්, ඉන් තරග 17ක්ම ජයගෙන තිබුණි. ඒ හැරෙන්නට එකඳු තරගයක් හෝ ඔවුන් පරාජය වී නොතිබූ අතර, ඔවුන් තරග 02ක් විසඳුමකින් තොරව හා එක් තරගයක් ලකුණු සමව අවසන් වී තිබුණි.

කෙසේ නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ට තරග 04ක හඹා යෑමට අවස්ථාව හිමිවූවත්, ඉන් ඔවුන් තරග 03ක් පරාජය වී ජයගෙන සිටිනුයේ එක් තරගයක් පමණි.

ලෝක කුසලාන තරගයන්හිදී ඔස්ට්‍රේලියාව විසින් එංගලන්තයට එරෙහිව ජය ලැබූ 06 වැනි තරගය මෙය වන අතර, එය එංගලන්තයට එරෙහිව කණ්ඩායමක් දැක් වූ ඉහළම දක්‍ෂතාවද වෙයි. ශ්‍රී ලංකාව, පාකිස්තානය හා නවසීලන්තය අවස්ථා 05කදී එංගලන්තය පරාජය කර මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ඔස්ට්‍රේලියාව 285/7 (පන්දුවාර 50)

ආරොන් ෆින්ච් 100 (116, 4x11, 6x2), ඩේවිඩ් වෝනර් 53 (61, 4x6), ස්ටීවන් ස්මිත් 38 (34, 4x5), ඇලෙක්ස් කේරී නොදැවී 38 (27, 4x5), ක්‍රිස් වෝක්ස් 2/46 (10), බෙන් ස්ටෝක්ස් 1/29 (6)

එංගලන්තය 221/10 (පන්දුවාර 44.4)

බෙන් ස්ටෝක්ස් 89 (115, 4x8, 6x2), ජොනී බෙයාස්ටෝව් 27 (39, 4x5), ක්‍රිස් වෝක්ස් 26 (34, 4x2), ආදිල් රශීඩ් 25 (20, 4x3, 6x1), ජොස් බට්ලර් 25 (27, 4x2), ජේසන් බෙහ්රෙන්ඩ්‍රොෆ් 5/44 (10), මිචෙල් ස්ටාර්ක් 4/43 (8.4)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 June 2019 19:49