- එංගලන්ත මුල් ඉනීම ලකුණු 77කට සීමාවෙයි.
- හෝල්ඩර්ගෙන් ද්විත්ව ශතකයක්...
- හොල්ඩර් - ඩොරිච් 295ක නොබිදුනු සම්බන්ධතාවයක්...
- රොස්ටන් චේස්ට කඩුළු 8ක්....
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය අද නිමාවට පත් වුණා. ඒ 2019 නව වර්ෂයේ ආරම්භය එංගලන්තයට අසුභ ආරම්භයක් බවට පත් කරමින් සත්කාරක කොදෙව්වන්ට ලකුණු 381 දැවැන්ත ජයක් හිමිකර දෙමින්. 2019 වර්ෂයේ ආරම්භ කරමින් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සිය පළමු තරගයට පිවිසියේ පසුගිය 23 වන දින බාබර්ඩෝස් බ්‍රිජ්ටවුන් කින්ස්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී. තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හොල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
හොල්ඩර්ගේ එම තීරණයට සාධාරණයක් ඉටු කරමින් කොදෙව් මුල් පිල පිතිකරුවන් සියළු දෙනාම පාහේ ලකුණු අතර පිවිසියේ කොදෙව් පළමු ඉනිම ලකුණු 289ක ස්ථාවර තත්ත්වයක් කරා ළගා කරමින්. කෙසේ වෙතත් එහිදී කිසිදු පිතිකරුවකුගෙන් විශාල ඉනිමක් වාර්ථා නොවුවද, සියළුම මුල්පෙළ පිතිකරුවන් ලකුණු 40 සීමාව පසුකිරීම අවසානයේ කණ්ඩායමක් ලෙස විශාල ලකුණු පුවරුවක් කරා යාමට ඉවහල් වුණා. එහිදි කොදෙව් පළමු ඉනිම වෙනුවෙන්, ශිම්රන් හිට්මයර් - 81 (109) ශයි හෝප් - 57 (148) යි.
එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙදී නැවත වරක් ක්‍රියාත්මක වු එංගලන්ත පන්දු යවන්නන්ගේ බලඇණියේ මුල් ගමන්කරු වු 36 හැවරිදි ජේම්ස් ඇන්ඩර්සන් පන්දුවාර 30ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාර 13ක් සමග ලකුණු 46කට කඩුළු 05ක් බිද හෙළිමට සමත්වුණා. මෙම පන්දු යැවීමයත් සමග එංගල්න්තය වෙනුවෙන් ටෙස්ට් තරගයන්හීදි ඉනිමක කඩුළු 05ක් දවා ගැනීමේ වැඩිම සංඛාවකට හිමිකම් කියන පන්දු යවන්නා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් සර් ඉයන් බොතම් සමග සමතැන ගත්තේ කඩුළු 05ක් දවාගැනීමේ වාර 27ක් තම නම ඉදිරියේ සනිටුවන් කරමින්.
කෙසේ වෙතත් ඇන්ඩර්සන්ගේ එම විශිෂ්ඨ පන්දු යැවීමට සාධාරණත්වයක් ඉටු කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත්වුයේ නැහැ. ඒ ලකුණු 290ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි නායක ජෝ රූට් ප්රමුඛ එංගලන්ත පිතිකරණ බලඇණිය පන්දුවාර 30ක් තුළ ලකුණු 77කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වු නිසාවෙන්. සුනු විසුනු වී ගිය එංගලන්ත ඉනිමේ කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සම්ත් නොවු අතර පිතිකරුවන් 7 දෙනෙකු තනි ඉලක්කමේ අගයන්ට ක්‍රීඩාගාරයට යළි හරවා යැවීමට කොදෙව්පන්දු යවන්නන් සමත් වුණා.
කලකට පසු පිටියට පිවිසි කොදෙව් පළපුරුදු වේගපන්දු යවන්නෙකු වන කෙමා රෝච් තම දෑතේ සවිය සහ පළපුරුද්ද රිසිසේ ප්‍රයෝජනයට ගත්තේ එංගලන්ත පළමු ඉනිම සුනු විසුනු කරමින්. එහිදි පන්දුවාර 11ක් පමණක් ක්‍රියාත්මක කළ රෝච් ප්‍රතිවාදී එංගලන්ත පිතිකරුවන්ට ලකුණු 17ක් පමණක් ලබාදෙමින් නිලකුණු පන්දුවාර 7ක් සමග කඩුලු 5ක් දඩයම් කරගත්තේ, තම ටෙස්ට් දිවියේ 9වන කඩුළු 05ක් ලබාගැනීම සනිටුවන් කරමින්.
ඒ අවසරයෙන් ලකුණු 212ක් දැවැන්ත පරතරයක් සහිතව සිය දෙවන ඉනීම ඇරඹු කොදෙව්වන් මෑත කාලින සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ඉනිම කින්ස්ටන් ඕවල් තණතීරුව මත දියත් කළා. එහිදි කොදෙව් දෙවන ඉනීම ලකුණු 127කට කඩුළු 6ක් දැවීගොස් තිබු අවස්ථාවක, එංගලන්ත පළමු ඉනීමට වඩා ලකුණු 339ක් ඉදිරියෙන්ද පසුවන විට කොදෙව් 7වන කඩුල්ල සදහා පිටියේ එක්වු නායක ජේසන් හෝල්ඩර් සහ ෂේන් ඩෝරිච් නොබිදුනු ලකුණු 295ක සම්බන්ධතාවයක් එක්කලේ එංගලන්තයට නව වසරේ පළමු පරාජය නෙත්මානයටම ලගා කරමින්.
එහීදි පසුගිය සමයේ දහසක් අර්බුද හමුවේ පළපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායම හැරයන විට, නායකත්වයේ බර කරට ගෙන අසීරු කාලයක් ගෙවා දැමු කොදෙව් නායක ජේසන් හෝල්ඩර් වර්තමානය වන විට තම නායකත්වයේ පරිනත බව පෙන්නුම් කරමින් පන්දු 229ක් තුළ නොදැවී වේගවත් ලකුණු 202ක් රැස් කළේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය තම නම ඉදිරියේ සනිටුවන් කර ගනිමින්. හෝල්ඩර්ගේ එම ඉනීම හතරේ පහර 23කින් සහ හයේ පහර 8කින් වර්නවත් වුණා.
හෝල්ඩර්ට අනගි සහයක් ලබාදුන් ෂෙන් ඩොරිච් පන්දු 224ක් තුළ නොදැවි ලකුණු 116ක් ලබාගත්තේ හතරේ පහර 11කින් සහ එක් 6 පහරකින් ඉනිම වර්ණවත් කරමින්.
ජේසන් හෝල්ඩර් සිය ද්විත්ව ශතකය ලබාගැනීමත් සමග කොදෙව් දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර ඒ වන විට කොදෙව් දෙවන ඉනීමේ ලකුණු පුවරුව ලකුණු 415 -6 ක් ලෙස සනිටුවන්ව තිබුණා.
ඒ අනුව ලකුණු 628ක දැවැන්ත ඉලක්කයක් හඹායාම සදහා දෙවන ඉනිමේ පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ආරම්භක පිතිකරුවන් වු ජෙනින්ග්ස් සහ බර්න්ස් සමත් වුණද , ලකුණු 85කදි එකි සම්බන්ධතාවය බිද වැටීමත් සමග ලකුණු 628ක දැවැන්ත ඉලක්කය කරා එංගලන්ත කණ්ඩායම රැගෙන යාමට කිසිදු පිතිකරුවෙකු සමත් වුයේ නැහැ.
එංගලන්තය වෙනුවෙන් රොරි බර්න්ස් පන්දු 133ක් තුළ ලකුණු 84ක් ලබාගතා.
වෙනත් කිසිදු එංගලන්ත පිතිකරුවෙකුට ලකුණු අතරට පිවිසීමට කොදෙව් පිටදගපන්දු යවන ක්‍රීඩක රොස්ටන් චේස් ඉඩ ලබාදුන්නේ නැහැ.විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවු චේස් තම ටෙස්ට් දිවියේ විශිෂ්ඨතම පන්දු යැවීම සනිටුවන් කරමින් පන්දුවාර 21.4ක් තුළ නිලකුණු පන්දුවාර 2ක් සමග ලකුණු 60ක් තුළ එංගලන්ත පිතිකරුවන්ගේ කඩුළු 08ක් දඩයම් කරගැනීමට සමත්වුණා.
එංගලන්ත කණ්ඩායම පන්දුවාර 80.4ක් තුළ සිය දෙවන ඉනිම සදහා සියළුදෙනා දැවී රැස් කරගත හැකිවුයේ ලකුණු 246ක් පමණයි.
ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 381ක දැවැන්ත ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
තරගයේ වීරයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තේරීපත්වුණා.
දෙරට අතර දෙවන ටෙස්ට් තරගය මෙමස 31 වන දින ඇන්ටිගුවාහී සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
සටහන - විදර්ශන ප්‍රනාන්දු