April 18, 2024

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය : නොනවතින පරාජයන් ගොන්නට කැන්ගරුවන්ගෙනුත් තෑග්ගක් (VIDEO)

  • විශේෂඥ පිතුකරුවන් සත්දෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 40ක් දැවැත්ත පරාජයක්..
  • ශ්‍රී ලංකා මුල්පෙළ නැවත නැවතත් අසාර්ථකයි....
  • චන්දිමාල්ගේ නායකත්වයේ ඉනීම 0යි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේලියානු කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත වොන් - මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය අදයි.
ඔස්ටේලියාවේ බ්‍රිස්බන් නුවර, ද ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය වු ඊයේ දින ශ්‍රී ලංකා පළමු ඉනීම වු ලකුණු 144/10ට පිළිතුරු ලෙස ඔස්ටේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියළුදෙනා දැවි ලකුණු 323ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පළමු ඉනිමේ ලකුණු 179ක් ඉදිරියෙන් පසුවෙමින්.
ඔස්ටේලියාව වෙනුවෙන්, 
ට්‍රැවිස් හෙඩ් ලකුණු 84 (187)
මාර්නස් ල’බුශේන් 81 (150)
දිගින් දිගටම ශ්‍රී ලාංකීක පිතිකරුවන් අනුගමනය කරන්නාවු නොසැලකිලිමත් තරග රටාව හමුවේ කණ්ඩායම අවමානයෙන් බේරා ගැනීම සදහා හුදකලා සටනක නිරත වු සුරංග ලක්මා පන්දුවාර 27කදී, නිලකුණු පන්දුවාර 9ක් යවමින් ලකුණු 75කට කඩුලු 05ක් බිද හෙළිමට සමත් වුණා.
කෙසේවෙතත් ලකුණු 179ක් පසුපසින් සිට සිය දෙවන ඉනීම ඇරඹු ශ්‍රී ලාංකීක පිතිකරුවන් නැවත නැවතත් සිය වගකීම් විරහිත පිතිකරණයේ නීරත වුයේ තරගයේ ජය තෙවන දිනයේදීම මල්වට්ටියක දමා පුජා කිරීමට තමන් සුදානම් බව පසක් කරමින්.
ඒ අනුව දෙවන දිනයේ පැට් කමින්ස් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී,ලකුණු 03ක් ලබා සිටි දිමුත් කරුණාරත්න සිය කඩුල්ල පුජාකළේ,තුන්වන දිනයේ තවත් දරුණු පරාජයක පෙරනිමිති නැවත නැවතත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා හමුවේ මවාපාමින්.
එම මවාපෑම සත්‍යක්ම බවට ඔප්පු කිරීමට තෙවන දිනයේ ආරම්භයේදී නායක දිනේෂ් චන්දිමාල් සමත්වුයේ සිය නායකත්වයේ ඉනිම දිනයේ තමන් මුහුණ දුන් දෙවන පන්දුවෙන්ම ලකුණු නොලබා පැට් කමින්ස් වෙත පුජා කරමින්.
ඒ වන විට පන්දුවාර 7.2ක් අවසානයේ ලකුණු 17කට කඩුලු 2ක් ලෙස සනිටුවන් වු ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 2ක් එකතුවන විටදීම,නවක පිතිකරුවා ලෙස පිටියට පැමිණ සිටි කුසල් මෙන්ඩිස් 01 ලකුණකට සිය කඩුල්ල පුජා කර ක්‍රීඩාගාරය වෙත පියනැගුවේ ශරිරයේ දහදිය බිදු වැටීමටත් පෙරය.
දිගින් දිගටම නායක චන්දිමාල් විසින් අනුගමනය කරන්නාවු දුර්වල නොසැලකිලිමත් ක්‍රීඩා විලාශය සහ,තරමක පළපුරුදු කුසල් මෙන්ඩිස්ගේ වගකීම් විරහිත පිතිරණයත් හමුවේ පිටියට පිවිසි රොශේන් සිල්වා සහ ධනංජය ද සිල්වාද පිළිවෙළින් ලකුණු 3කට සහ ලකුණු 14කට ක්‍රීඩාගාරය වෙත හැරීගියේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පිටියේ එක් අන්තයක හුදකලා කරමින්...
කෙසේ වෙතත් තෙවන දිනයේ තේ පානයෙන් අනතුරුව පැට් කමින්ස් විසින් යවන ලද දෙවන පන්දුවාරයේදී ලකුණු 32ක් ලබාසිටි ලහිරු තීරිමාන්ද ඔස්ටේලියානු නායක කඩුලු රකින්නා වන ටිම් පේන් වෙත උඩපන්දුවක් ලබා දී දැවිගියේ පැට් කමින්ස්ගේ ටෙස්ට් දිවියේ 04වන කඩුල් 05ක් ලබාගත් අවස්තාව ඔහුට හිමිකර දෙමින්.
ඒ වන විට ලකුණු 79 කඩුළු 06ක් ලෙස සනිටුවන් වු ශ්‍රී ලංකා ඉනිම ඉනීමක පරාජයෙන් බේරා ගැනීමට පසුපෙළ පිතිකරුවන් යම් උත්සහයක නිරත වුවද අවසානයේ එයද නිශ්ඵල වුයේ දින දෙකක් සම්පුර්ණයෙන්ම ඉතිරිව තිබියදී,කැන්ගරුවන්ට ඉනිමක සහ ලකුණු 40ක දැවැන්ත ජයක් හිමිකරදෙමින්.
ශ්‍රී ලංකා පසුපෙළ වෙනුවෙන් පළමු ඉනිමේ ලකුණු 64ක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල දෙවැනි ඉනිමේදී ලකුණු 24ක් ලබාගත් අතර දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර පිළිවෙළින් ලකුණු 8කට,24කට සහ 05කට දැවීගියේය.
තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරග අතරතුර වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පාදයේ ඇති වු අබාධයක් හේතුවෙන් තරගාවලියෙන්ම ඉවත්වු අතර මෙම තරගයේ දෙවන ඉනිමේදී ලහිරු කුමාර ආබාධ තත්තවයක් හේතුවෙන් අවසන් කඩුල්ල ලෙස පන්දුවට පහරදීමට පිටියට පැමිණියේද නැත.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනීම ලකුණු 139- 9 කට සීමා වු අතර මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකදී ඉනිම් දෙකේදීම ලකුණු 150කට අඩුවෙන් දැවීගිය තෙවන අවස්ථාවයි.
තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා පළමු ඉනීමේ කඩුලු 04ක් සහ දෙවන ඉනීමේ කඩුලු 06ක් ලබාගත් ඔස්ටේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් තේරීපත්විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත වොන් - මුරලි ටෙස්ට් තරගාවලිය තරග 1 - 0 ක් ලෙස ඔස්ටේලියානු කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.
- සටහන - විදර්ශන ප්‍රනාන්දු 
Rate this item
(1 Vote)
Last modified on Saturday, 26 January 2019 15:57