April 19, 2024

‘හතුරුසිංහ තවත් තුරුම්පුවක් ගසයි’..කණ්ඩායමේ වෙනසක්..

February 18, 2018

බංග්ලාදේශයට එරෙහිව අද (18 වැනිදා) ශිලාත්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේදී දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගැනීමට වැඩි ඉඩක් පවතින බව වාර්තාවේ.

දෙරට අතර පැවැති පළමු T20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනාම දැඩි ලෙස බංග්ලාදේශ පිතිකරුවන්ගේ පහර කෑමකට ලක්වීමත් සමග දෙවැනි තරගයේදී අසිත ප්‍රනාන්දුට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමණාකාරීත්වය අවධානය යොමු කර ඇතැයි සිතිය හැකි අතර අසිත දේශීය පළමුපෙළ පිටියේ සුපිරි හැකියා පෙන්වූ ක්‍රීඩකයෙකු ලෙස මෙම තරඟාවලියට එකතු වී ඇත.

ෂෙහාන් මධුෂංක සහ ඉසුරු උදාන පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කළ අතර මධුෂංක යැවූ 3 දී ලකුණු 39 ක්ද, උදාන යැවූ ඕවර 4 දී ලකුණු 45 ක්ද රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ. එහිදී එක් කඩුල්ලක් දවාගැනීමට උදාන සමත් වුවද, මධුෂංකට එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකි විය.මේ තත්වය මත ජයග්‍රාහී කණ්ඩායම ක්‍රීඩා කරවන්නට තීරණය නොකළ හොත් හෙට තරඟය ෂෙහාන්ට අහිමි වීමට ඉඩ ඇත.

ටෙස්ට් තරග වලදී මෙන්ම විස්සයි20 තරග වලදීද කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවකු ලෙස යොදාගැනීම සාර්ථක වූ බැවින් හෙට තරගයේදීද ධනුෂ්ක ගුණතිලක සමගින් ඔහු ශ්‍රී ලංකා ඉනිම අරඹනු ඇතැයි විශ්වාස කළ හැකිය. පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල්, පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් තරගයේ වීරයා බවටද පත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 තරගයකදී හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාව, 2-0 ක් ලෙස විස්සයි20 තරගාවලියේ ජය අත්කර ගැනීමේ අරමුණෙන් හෙට තරගයට පිවිසෙනු ඇත. එහෙත් බංග්ලාදේශය හෙට තරගයට පිවිසෙන්නේ මේ වන විට 1-0 ක් ලෙස පවතින තරගාවලිය කෙසේ හෝ 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමේ අරමුණෙනි.

හෙට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම.

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු ,ජීවන් මෙන්ඩිස් , අකිල ධනංජය

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 February 2018 10:08