April 26, 2024

නවසීලන්තය තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි.

February 14, 2018

එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 12 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 184 ක් පමණි. මිචෙල් සෑන්ට්නර්, ටේ‍රන්ට් බෝල්ට් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඬේවිඞ් මැලන් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. මැලන් සහ ඇලෙක්ස් හේල්ස් (47) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ගොඩනැගූ ලකුණු 65 ක සම්බන්ධතාවද එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පන්දු 24 කදී වාර්තා වූ හේල්ස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මාටින් ගප්ටිල් (65) සහ නායක කේන් විලියම්ස් (72) සමත් වූහ. පන්දු 46 කට මුහුණදුන් විලියම්ස්, සිය අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර කළ අතර පන්දු 40 කදී වාර්තා වූ ගප්ටිල්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

එහිදී එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නන් දෙදෙනා බවට පත් වූ ඬේවිඞ් විලී සහ ආදිල් රෂීඞ් ලකුණු 36 කට කඩුලු 2 බැගින් දවාගත්හ.

Rate this item
(0 votes)