April 17, 2024

රංගනට හා ඩිල්රුවන්ට බංගලාදේශයෙන් පීඩනයක් ..

February 08, 2018

දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගාවලි ජය වාර්තා කිරීමට තමන් ඇතුලු කණ්ඩායම සූදානමින් සිටින බව බංග්ලාදේශ කණ්ඩායමේ තාවකාලික නායක මහමදුල්ලා රියාද් පවසයි.

දෙවැනි ඉනිමේ ලකුණු 81 කට කඩුලු 3 ක් බිඳ වැටී සිය කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව තිබියදීත්, සාර්ථක සම්බන්ධතා ගොඩනගමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට හැකි වීමත් සමග ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය ඉහළ ගොස් ඇති බවද එහිදී ඔහු පැවසීය.

“මම හිතන්නේ අපේ කණ්ඩායම ගොඩක් හොඳයි,මොකද අපේ රටේ ක්‍රීඩා කරන නිසා අපිට ලොකු ශක්තියක් තියනවා,පලවෙනි තරඟයේ අපේ කණ්ඩායම ගොඩක් වෙලාවට අමාරු අවස්ථාවල හිටියේ.දෙවැනි තරඟය එහෙම වෙන එකක් නෑ කියල තමයි මගේ බලාපොරොත්තුව.මේ තරඟයේදී අපි දිනුවොත් තරඟාවලිය දිනන්න අවස්තාව තියනවා.හැම ක්‍රීඩකයම ඒ ගැන ලොකු උනන්දුවෙන් ඉන්නේ.අපි දිනන්න තමයි ක්‍රීඩා කරන්න ඕන.”

ශ්‍රී ලංකා කණ්ඩායම සතු පන්දු යවන්නන්ද හොඳ ශක්තියකින් සිටින බවද මහමදුල්ලා මෙහෙදී පවසා ඇත.”අපි දන්නවා රංගන කියන්නේ අත්දැකීම් වලින් වගේම දක්ෂතාවය බැලුවත් ලෝකයේ උඩින්ම ඉන්න ක්‍රීඩකයෙක්,ඒ වගේම තමයි ඩිල්රුවන් පහු ගිය කාලේ හැම කණ්ඩායමටම තර්ජන එල්ල කරපු ක්‍රීඩකයෙක්,අපේ අරමුණ තමයි මේ පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල වෙන විදියට පහර දෙන එක.”

පහුගිය තරඟයට වඩා දෙවන තරඟයට ලැබෙන තණතිල්ල පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය වනු ඇති බවත් කණ්ඩායම ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් මහමදුල්ලා පවසා ඇත.

“පලවෙනි තරඟය වගේ නෙවෙයි මේ තරඟය තියන තණතිල්ල පන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි,දඟ පන්දු යවන්නන්ට ලොකු සහයක් දෙයි.”

2014 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 3-0 ක ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම මේ දක්වා කිසිදු කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැත. ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේ එක් තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඔවුන් සමත් වුවත්, එම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමග තරගාවලිය සම තත්ත්වයට පත්විය.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර

බංග්ලාදේශ සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, මොමිනුල් හක්, ඉම්රුල් කේයිස්, මොසඩක් හොසේන්, තයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන්, කම්රුල් ඉස්ලාම්, ශබීර් රහමන්, අබ්දුර් රසාක්, නයීම් හසන් සහ තන්බීර් හයිදර්

Rate this item
(0 votes)