March 29, 2024

හතුරුසිංහ හා දිමුත් පැවසූ දෙයි සත්‍ය වෙයි

February 08, 2018

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණු චිතගොං ක්‍රීඩාංගණයේ තණ තීරුව ක්‍රීඩා කිරීම සඳහා සුදුසු තත්ත්වයට වඩා පහත මට්ටමක පැවති බවට ජගත් ක්‍රිකට් කවුන්සිල තරග තීරක ඩේවිඩ් බූන් මහතා තීරණය කර ඇත.

ඒ අනූව එම ක‍්‍රීඩංගණය ටෙස්ට් තරගවලට නුසුදුසු බවට එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවට වාර්තා කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම තරගයේදී කණ්ඩායම් දෙකේ පිතිකරුවන් ශතක 5 ක් සහ අර්ධ ශතක 6 ක් වාර්තා කිරීමට සමත් වීමත්, තරගය පැවැති දින 5 දී පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ කඩුලු 24 ක් පමණක් වීමත්ය.

චිතගොන් තණතිල්ලේ වේග පන්දු යවන්නන්ට කිසිදු දෝලනයක් ලබාගත නොහැකිවූ බවත්, තරගය පුරා පන්දුවේ ඉපිළීමේ වෙනස්කම් තිබූ බවත්, දඟ පන්දු යවන්නන්ට පන්දුව දඟකැවීමට කිසිදු ඉඩක් නොලැබුණ බවත් බූන් මහතාගේ වාර්තාවේ සටහන් වේ.

බූන් මහතාගේ වාර්තාව සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් නීති රීති වලට අනුව චිතගොන් ක්‍රීඩාංගණයට දඩුවම් ලකුණුක් ලබාදීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

ඉදිරි වසර 5 ක කාලය සඳහා එම දඩුවම් ලකුණු බල පැවැත්වෙන බවත්, එම කාල සීමාවේදී තවත් දඩුවම් ලකුණු 5 ක් එක් වුවහොත් අහමඞ් චවුද්‍රි ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම මාස 12ක කාලයක් සඳහා තහනම් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද තරගයෙන් අනතුරුව චිතගොන් ක්‍රීඩාංගණය ටෙස්ට් තරග සඳහා නුසුදුසු බව පවසා සිටියේය.තවද පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ එම තණතීරුව පිළිබදව තරග තීරක වරයාගේ අවධානය යොමු කිරිමට තමන් අපේක්ෂා කරන බවයි .

”මෙම තණ තීරුවේ වේගපන්දු යවන්නන් හට නව පන්දුවෙන් හෝ දෝලනයක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරගය පුරාවටම ඉපිලීම සහ පන්දුවේ වේගය දක්නට ලැබුණේ නැත.” තරග තීරක බූන් සිය වාර්තාවේ සඳහන් කර තිබේ. ”මුල් දින කිහිපයේ ඇතැම් අවස්ථාවල දී දඟපන්දු යවන්නන් හට මන්දගාමී දඟ කැවීමක් දක්නට ලැබුණ ද, තරගය ක්‍රියාත්මක වීමේ දී බලාපොරොත්තු වූ පරිද්දෙන් තණ තීරුව පලුදු වීමක් සිදු නොවිය. එමගින් සිදු වූයේ තරගයේ දින පහ පුරාවටම තණ තීරුව පිතිකරුවන්ට විශාල සහයෝගයක් දැක්වීමයි.” යනුවෙන් තරග තීරක වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Rate this item
(0 votes)