March 29, 2024

කවුරුත් බනින අපේ ක‍්‍රීඩකයන්ගේ 2017 වැඩ මෙන්න..වැරදුනේ කොතනද? බනින්න පෙර සිතන්න

December 31, 2017

රටක්‌ සතුටු වූ ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉකුත් දොළොස්‌ මස තුළදී පියවරෙන් පියවර අගාධයටම තල්ලු විය. නාස්‌ පුඩු දෙක ළඟටම ගිලෙමින් තිබෙන මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට හුස්‌ම ගත හැකි වාතාවරණයක්‌ සකස්‌ කිරීමේ භාරදූර කර්තව්‍ය චන්දික හතුරුසිංහගේ කරේ පටවා ක්‍රිකට්‌ බලධාරීන් ගොඩ යැමේ සිහිනයක්‌ දකිමින් සිටින යුගයකි මේ. නමුත් 1996 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් නන්නත්තාර වූ වසර 2017 ලෙස ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරළි අවසන්ය.

2017 වර්ෂය ශ්‍රී ලංකාවට ඉතා අමිහිරි වසරක් වුවද යම්තාක් හෝ අසාර්ථකත්වය අඩුවෙන් පෙන්නුවේ ටෙස්ට් ක්‍රිකට් තරඟ වලිනි. 2017 වසර වෙනුවෙන් ටෙස්ට් තරඟ 13ක ට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරඟ 7ක් පරාජයට පත්වන අතර පාකිස්ථානය ,සිම්බාබ්වේ සහ බංගලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණ සමඟ තරඟ 4ක් ජයගන්නා අතර ඉන්දියාවට එරෙහිව තරඟ දෙකක් ජයපරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත් වී ඇත.

ටෙස්ට් තරඟ වල 2017 වසරේ සාර්ථකම පිතිකරුවා බවට දිමුත් කරුණාරත්න පත්වන අතර දිමුත් සමඟින් චන්දිමාල් ලකුණු 1000 සීමාවද පසු කර යාමට සමත් වන්නේ ශතක තුන බැගින්ද ලබා ගනිමිනි.වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබා ගත් හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වන්නේත් දිමුත් කරුණාරත්න වන අතර ඔහු පාකිස්ථානයට එරෙහිව ලබාගත් ලකුණු 196 ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වසරේ ලබා ගත් හොඳම ඉනිමය.ටෙස්ට් පිතිකරුවෙකු ලෙස නිරෝෂන් දික්වැල්ල හොඳ දක්ෂතා පෙන්වා ඇති අතර ඔහු මැදපෙළ පිතිකරුවෙකු ලෙස 38ක සාමාන්‍යයක් සමඟ ලකුණු 750 කට වඩා ලබා තිබීම කැපී පෙනේ.

ටෙස්ට් තරඟ වල ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වීමට රංගන හේරත් සමත්වෙමින් ටෙස්ට් කඩුලු 50 කට වඩා දවා ගැනීමට සමත් වෙද්දී දෙවන තැන දිනා ගැනීමට සමත් වී ඇත්තේ දිල්රුවන් පෙරේරාය.

රංගන කඩුල්ලකට 28 කට ආසන්න ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිද්දී ඉන් පසුව සිටින කිසිම ප්‍රමුඛ පෙළ පන්දු යවන්නෙකු ලකුණු 40 කට අඩු සාමාන්‍යයක් හෝ රඳවා ගැනීමට අසමත් වීම කැපී පෙනෙන දුර්වලතාවයකි.රංගන අවස්ථා දෙකක කඩුලු 10 සීමාව පසුකර ගොස් ඇති අතර ඔහු ඉනිමක කඩුලු 5 ට වඩා වැඩියෙන් ලබාගත් අවස්ථාද 5ක් වාර්තා කර ඇත.

2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 29 කට ක්‍රීඩා කර ඇති අතර ඔවුන් එයින් තරඟ 23ක් ම පරාජයට පත්වන්නේ ඉතා දුර්වල එක්දින කණ්ඩායමක් බවට මෙම වසරේ පත් වෙමිනි.ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසර තුල ජය ගනු ලබන්නේ එක්දින තරඟ පහක් පමණක් වන අතර එයින් තරඟ හතරක් සිම්බ්බාවේ සහ බංගලාදේශය සමඟින් වන අතර අනික් තරඟය වසර පුරාම කතා කිරීමට ඉතිරි වූ ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ ලබාගත් ජයග්‍රහණයය.

2017 වසර තුල ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් සාර්ථකම එක්දින පිතිකරුවා බවට පත්වන්නේ උපුල් තරංග වන අතර ඔහු එක්දින ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් වූ එකම පිතිකරුවා බවට පත්වූ අතර ඔහු ලකුණු 50 කට ආසන්න සාමාන්‍යයක් රඳවාගෙන ඇති අතර පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැන දික්වැල්ලට හිමිවන අතර හොඳම සාමන්‍යය වාර්තා කිරීමට සමත්වී ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් විසිනි.

එක්දින පන්දු යවන ක්‍රීඩකයන් අතරින් වැඩිම කඩුලු ලාභියා බවට සුරංග ලක්මාල් පත්ව ඇති අතර ඔහු කඩුලු 19ක් ලබාගෙන සිටින අතර අකිල ධනංජයද කඩුලු 18ක් ලබාගැනීමට සමත්වී ඇත.මෙම පන්දු යවන්නන් දෙදෙනා 5ක පමණ ලකුණු ප්‍රමාණයක් පන්දුවාරයකට ලබා දෙමින් යම් සාර්ථකත්වයක් පෙන්වද්දී අනෙකුත් පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්ව තිබෙන අකාරයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරඟ අසාර්ථකත්වය පෙන්නුම් කර ඇත.

අනෙකුත් තරඟ මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කලක් තිස්සේ ලෝකයේ අංක 1 බවට පත්වී සිටි T20 තරඟ වලින්ද දැඩි පසුබෑමක් මෙම වසරේ පෙන්වා ඇති අතර තරඟ 15 කට තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ජයගන්නේ තරඟ 5ක් පමණක් වන අතර ඕස්ට්‍රේලියාවේ ලැබූ තරඟාවලි ජය සහ දකුණු අප්‍රිකාවේ ලැබූ තරඟාවලි ජය මෙහිදී කැපී පෙනෙන අතර වසරේ වැඩිම T20 ලකුණු ලාභියා බවට පත්වීමට නිරෝෂන් දික්වැල්ල සමත් වෙද්දී අසේලට දෙවන තැනත් තරඟ 15න් තරඟ 5ක් පමණක් ක්‍රීඩා කරන කුසල් ජනිත් තෙවන ලකුණු ලාභියා බවට පත්වීමෙන් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ කණ්ඩායමේ ස්ථාවර බව පිලිබනදව අවභෝදයක් ගත හැක.

වසරේ T20 තරඟ වල වැඩිම කඩුලු ලබා ගැනීමට සමත් වී ඇත්තේ තේරීම් කමිටුව විසින් පාකිස්ථාන සංචාරයේ සිට විවේක ගන්වා ඇති ලසිත් මාලිංග වන අතර ඔහු කඩුලු 12 ක් දවා ගනිද්දී නුවන් කුලසේකර සමඟින් විකුම් සංජය කඩුලු ලාභීන් අතර දෙවන තෙවන ස්ථාන ලබාගෙන තිබුනද ඔවුන් ගැනද ඉනදීය සංචාරයේ සිට අවධානය යොමු කරන ආකාරය දැකගන්නට ලැබුනේ නැත.

ක්‍රීඩකයන් දැඩි ලෙස බැනුම් ඇසු බෝතල් පහරවල් කන්නට සිදු වූ මේ වසරේ සිදුවූ සියලු වැරදි වලට වගකිව යුත්තේ බැනුම් අසන ක්‍රීඩකයන් ද යන්න ප්‍රශ්නයකි.1996 එක්‌දින ක්‍රිකට්‌ ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව වැඩිම පරාජයන් සංඛ්‍යාවක්‌ 2017 වසරට පෙර ලබා ඇත්තේ 1999 වසරේදීය. එවකටද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන සුක්‌කානම වත්මන් ප්‍රධානීන් විසින් මෙහෙයවනු ලැබීය. නායකයා වූයේ අර්ජුන රණතුංගය. 1999 දී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරග 34 කින් තරග 20 ක්‌ පරාජය වී ජය ලබා ඇත්තේ තරග 12 ක්‌ පමණි.

කෙසේ වෙතත් තව හෝරා කිහිපයකින් එළැඹෙන්නේ නව වසරකි. ඒ 2018 වසරේ මෙරට ක්‍රිකට්‌ සංක්‍රාන්ති සමය කෙසේ වනු ඇතිදැයි තවත් දොළොස්‌ මසක්‌ අවසානයේ තීරණය වනු ඇත. ජනවාරි මස සිට 2019 ලෝක කුසලානයට ඇත්තේ තවත් මාස 18 කි. ඒ අතරතුර ශ්‍රී ලංකාව එක්‌දින තරග 28 කට සහභාගි වේ. එම තරගවලින් ලබන පන්නරය ලෝක කුසලානට අත්වැලක්‌ වනු ඇත. නව වසරේ හෝ ක්‍රිකට්‌ සෙනසුරු දශාව සුන්වී යනු ඇතැයි මෙරට සුවහසක්‌ ක්‍රිකට්‌ ලෝලීන්ගේ ප්‍රාර්ථනාව වනු ඇත.

Rate this item
(0 votes)