March 28, 2024

2019 ලෝක කුසලානයට සිංහයින් කදවුරු බදියි..28ක සංචිතයක් නම් කරයි..

December 28, 2017

තවත් මාස 18 කින් එංගලන්තයේදී ආරම්භ වන 12 වැනි ක්‍රිකට්‌ ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් 28 දෙනකුගේ සංචිතයක්‌ සකස්‌ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර දැනට නම් කර ඇති 23 දෙනාගේ සංචිතයට තවත් ක්‍රීඩකයන් සිව්දෙනකු ඇතුළත් කිරීමට නියමිතව තිබේ.

සංචිතයට අලුතින් ඇතුළත් කරන ක්‍රීඩකයන් අතරට වේග පන්දු යවන්නන්, දඟ පන්දු යවන්නන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයකු ඇතුළත්වීමට නියමිතය. අදාළ 28 දෙනාගේ සංචිතය අද (28 දා) සිට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ අධීක්‌ෂණය යටතේ පුහුණුව ඇරඹීමට කටයුතු යොදා ඇත.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහ ග්‍රැහැම් ලැබ්බ්‍රොයිගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදාළ සංචිතය නම් කිරීමට සැලසුම් කර තිබේ. එහිදී ලෝක කුසලාන තරගාවලියට යන සංචිතයේ ක්‍රීඩකයන් ඉදිරියට පැවැත්වෙන එක්‌දින තරග සංඛ්‍යාවෙන් තරග 17 ක්‌ හෝ 18 ක්‌ අවමය ක්‍රීඩා කර තිබිය යුතු බවට හතුරුසිංහ විසින් තේරීම් කමිටුවට පවසා තිබේ.

“ලෝක කුසලානට තව තියෙන්නෙ මාස 18 ක්‌ විතර. ඒ වෙනුවෙන් අපි දැනට නම් කළ 23 දෙනාට තවත් හතර දෙනකු එකතු කරනවා. ඉදිරියේදී අවශ්‍ය වුණොත් තවත් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ එහා මෙහා යන්න පුළුවන්. මොකද අපිට ලෝක කුසලානට කලින් එක්‌දින තරග 28 ක්‌ ක්‍රීඩා කරන්න තියෙනවා. මේ ඉන්න සංචිතයේ ක්‍රීඩකයන් ලෝක කුසලානට යනවනම් අඩුම තරමේ ඒ තරග 28 න් 17-18 අතර සංඛ්‍යාවක්‌ ක්‍රීඩා කර තිබිය යුතු බවට හතුරුසිංහ පැවසුවා. ”

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන එක්‌දින තරග 28 ආරම්භ වන්නේ බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්‌දින තරගාවලියේ සිටය. වත්මන් එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අටවැනි ස්‌ථානය දක්‌වා පල්ලම් බැස තිබුණද 2019 ලෝක කුසලාන වන විට අදාළ ශ්‍රේණියේ පෙරමුණ ස්‌ථානයක්‌ දිනා ගැනීමට නව පුහුණුකරුවාගේ සහ තේරීම් කමිටුවේ උත්සහය වී තිබේ.
මේ දක්වා පැවති අවසාන තරඟාවලි වල ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගෙන අවසාන මොහොතේ ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රමය වෙනුවට මෙලෙස ක්‍රීඩකයන්ට තරඟාවලියට සුදානම් වීමේ දිගුකාලීන සැලසුමක් සහිතව සංචිතයක් නම් කිරීමට තීරණය කිරීමද හතුරුසිංහගේ පැමිණීමෙන් අපිට මේ වන විටම ලැබුන හොඳ ප්‍රවනතාවක් ලෙස හැඳින්විය හැක.

නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගේ සංචිතය

තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්‌වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩ්‍රසි, අමිල අපොන්සු, ලක්‍ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා.

දිවයින ඇසුරෙනි…

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 December 2017 08:29