April 23, 2024

මැදපෙළ ‘අනාථ’ වූ ශ්‍රී ලංකාව තරගාවලියම පරදියි..

December 18, 2017

උපුල් තරංගගේ සටන්කාමී පිති ප්‍රහාරයට වටිනාකමක්‌ එක්‌ කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් හේතුවෙන් ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්‌දින තරගයෙන් ද කඩුලු 8 කින් පරාජය ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එත් සමග 2-1 ක්‌ ලෙසින් තරගාවලි ජයද ඉන්දියානුවන් සතු විය.

යුස්‌වේන්දර් චාහාල්ගේ (3/46) සහ කුල්දීප් යාදෙව්ගේ (3/42) පන්දු යෑවීම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 215 කට සීමා වූ අතර අදාළ ඉලක්‌කය පහසුවෙන් කඩුලු දෙකක් දැවී තිබියදී පසු කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.ශිකර් ධවාන් (100) සහ ශ්‍රෙයාස්‌ අයියර් (65) ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්විය.
සිය 13 වැනි එක්‌දින ශතකය කරා පැමිණි ශිකර් ධවාන් පන්දු 85 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 8 ක්‌ සමගින් නොදැවී ලකුණු 100 ක්‌ රැස්‌කර ගත්තේය.

ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් පළමුවෙන් පිති ප්‍රහාරය දියත් කිරීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකාපිලේ පළමු කඩුල්ල වශයෙන් ධනුෂ්ක ගුණතිලකව නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යෑවීමට ජස්‌ප්‍රීට්‌ බුම්රා සමත් වූයේය. නායක රෝහිත් ෂර්මා අතට උඩ පන්දුවක්‌ ලබා දෙමින් ධනුෂ්ක දැවීයන විට හතරේ පහර දෙකක්‌ සමගින් පන්දු 12 කදී ලකුණු 13 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

උපුල් තරංග සහ සධීර සමරවික්‍රම යුගලය තෙවැනි කඩුල්ල සදහා එක්‌කළ ලකුණු 121 කත් සමගින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම් ස්‌ථාවර තත්ත්වයකට පැමිණියද අවසන් කඩුලු 8 ලකුණු 55 ක්‌ තුළ දැවී යාමත් සමග ශ්‍රී ලංකා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිද වැටිණි.

යුස්‌වේන්දර් චාහාල්ගේ ගොදුරක්‌ බවට පත්වූ සධීර සමරවික්‍රම ශිකර් ධවාන් අතට උඩපන්දුවක්‌ ලබාදී දැවී ගියේය. ඒ වනවිට පන්දු 57 කට මුහුණ දී සිටි සධීර ලකුණු 42 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක එම්. එස්‌. දෝණිගේ විශිෂ්ඨ ස්‌ටම්ප් කිරීමකට හසුවීමෙන් ඉතාමත් විශ්වාසවන්ත අයුරින් පිත්ත හැසිරවූ උපුල් තරංගගේ ඉනිම මුළු ලකුණු 160 ක්‌ වෙද්දී නිමා විය. 16 වැනි එක්‌දින ශතකයට තවත් ලකුණු 5 ක්‌ මෙපිටින් සිටියදී පන්දු 82 කට මුහුණ දී සිටි තරංග දැවී යනවිට සිය ඉනිම හයේ පහර තුනකින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් කර තිබුණි.

අනතුරුව පස්‌වැනි පිතිකරු වශයෙන් පිටියට පිවිසි නිරෝෂන් දික්‌වැල්ල මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 8 ක්‌ එක්‌වනවාත් සමගම වගකීම් විරහිත අයුරින් ගැසූ පහර පිත්තේ කොනක වැදී ස්‌ලිප්හි සිටි ශ්‍රෙයාස්‌ අයියර් පහසුවෙන් උඩ පන්දුවක්‌ ලෙස රැක ගැනීමත් සමගම ඔහුගේ ඉනිම නිමාවට පත්විය.

කෙසේ නමුත් දෙවැනි එක්‌දින තරයේදී මෙන්ම කල්පනාකාරි ඉනිමකට ඇන්ජලෝ මැතිව්ස්‌ සැරසුනද යුස්‌වේන්දර් චාහල් යෑවූ පන්දුවක්‌ කෙලින්ම කඩුල්ලේ වැදීම මත ඔහුගේ ඉනිමද අවසන් විය. පන්දු 28 කට මුහුණ දී සිටි මැතිව්ස්‌ එහිදී හතරේ පහර දෙකක්‌ සමගින් ලකුණු 17 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

මීට අමතරව අසේල ගුණරත්න හයවැනි පිතිකරු වශයෙන් පැමිණ තවත් ලකුණු 17 ක්‌ රැස්‌කරගත් අතර නායක තිසර පෙරේරාට එහිදී රැස්‌කරගත හැකිවූයේ ලකුණු 6 ක්‌ පමණි.

ශ්‍රී ලංකාව (පන්දුවාර 44.5කදී සියලු දෙනා දැවී) 215

උපුල් තරංග 95, සධීර සමරවික්‍රම 42, අසේල ගුණරත්න 17, ඇන්ජිලෝ මැතිව්ස් 17, ධනුෂ්ක ගුණතිලක 13, නිරෝෂන් දික්වැල් 08, සචිත් පතිරණ 07, යාදව් 3/42, චහාල් 3/46, පාන්ඩියා 2/49

ඉන්දියාව (පන්දුවාර 32කදී කඩුලු 2කට) 219

ෂිකර් දවාන් නොදැවී 100, ශි්‍රයාස් අයියර් 65, දිනේෂ් කාර්තික් නොදැවී 26,රෝහිත් ෂර්මා 07, තිසර පෙරේරා 1/25, අකිල ධනංජය 1/53

Rate this item
(0 votes)