December 15, 2017

‘මහේල’ ගේ මගපෙන්වීමෙන් ප‍්‍රබලයින් අඩු කුල්නා කණ්ඩායම බී.පී.එල්. හොල්ලයි..

BPL තරගාවලිය යටතේ 39 වන තරඟය ලෙස පැවති මහේල ජයවර්ධන පුහුණු කරනු ලබන කුල්නා ටයිටන්ස් කණ්ඩායමත් මේ වනවිට තරඟාවලියේ ලකුණු සටහනේ පළමු තැන ගෙන සිටින ප්‍රභල කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමත් අතර පැවති තරඟය ප්‍රභල කොමිලා කණ්ඩායම පරාජයට පත් කරමින් කුල්නා කණ්ඩායම ලකුණු 14 කින් ජය ගැනීම සමඟ තරඟාවලියේ ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කුල්නා කණ්ඩායම සමත් වී ඇති අතර කොමිලා කණ්ඩායම තවමත් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී..

ඊයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනාගත් කුල්නා නායක මහමදුල්ලා පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර නසිමුල් හසන් ආරම්භක පිතිකරුවා ලෙස පන්දු 21 තුල ලබාගත් වේගවත් ලකුණු 37 ,අසිෆුල් හක් අවසන් මොහොතේ ලබාගත් ලකුණු 35 සහ මයිකල් ක්ලින්ගර් ලබාගත් ලකුණු 29 සමඟ තම පන්දුවාර 20 තුල ලකුණු 174/6 ලබා ගැනීමට කුල්නා ක්‍රීඩකයන් සමත් වූ අතර පන්දු යැවීමේදී කොමිලා කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 4 තුල ලකුණු 52ක් ලබා දෙමින් දැඩි ප්‍රහාරයකට ලක්වූ අල් අමීන් හුසේන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 175ක ඉලක්කය හඹා යාමට පැමිණි කොමිලා වික්ටෝරියන්ස් ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල පළමු ලකුණ ලබා ගැනීම සමඟ බිඳ වැටුනද තමීම් ඉක්බාල් සහ ඉමරුල් කයිස් අතර ගොඩනැගුන ලකුණු 62ක සම්භන්දය කොමිලා කණ්ඩායමට බලාපොරොත්තු ගෙන ආවද කුල්නා කණ්ඩායමේ හොඳ පාලනයකින් යුතු පන්දු යැවීම සහ දක්ෂ පන්දු රැකීම හමුවේ ඔවුනට පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වුයේ ලකුණු 160/7 පමණය.

කොමිලා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වෙමින් ෂොහිබ් මලික් සහ තමීම් ඉක්බාල් ලකුණු 36 බැගින් ලබාගත් අතර මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී කුල්නා කණ්ඩායම වෙනුවෙන් හොඳ දක්ෂතා පෙන්වූ අබු ජාවෙඩ් සහ බෙනී හොවෙඩ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

තරඟාවලිය ආරම්භයේ එතරම් විචාරකයන්ගේ අවධානයට යොමු නොවූ කණ්ඩායමක් මෙන්ම අනෙක් කණ්ඩායම් වලට සාපේක්ෂව තනි ක්‍රීඩකයන් ලෙස බලන විට ප්‍රභල ක්‍රීඩකයන් අඩු කුල්නා කණ්ඩායම මහේලගේ මඟ පෙන්වීම යටතේ පැමිණි ගමන ඉතා ඉහලින් තරඟාවලිය තුල අගය කිරීමට ලක්ව ඇති අතර තරඟාවලියේ සිටින ඉතා සටන්කාමීම කණ්ඩායම බවටද මේ වනවිට කුල්නා කණ්ඩායම පත්වී ඇත.

Rate this item
(0 votes)