December 15, 2017

“දික්වැල්ලට ඒ වෙලාවේ ඕන වුනේ වෙන දෙයක් …”රොෂේන් කියපු කථාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තරඟය ආරක්ෂා කර ගැනීම සඳහා තම මංගල තරඟයේම සුපිරි ඉනිමක් ක්‍රීඩා කල රොෂේන් සිල්වා තරඟය අවසානයේ ඩේලිනිව්ස් පුවත්පත සමඟ සාකච්චාවකට එකතුවෙමින් කියා තිබුනේ තමාට මෙම අවස්තාව නොලැබුනානම් ඔස්ට්‍රේලියාවට යාමට සියළු කටයුතු සුදානම් වෙමින් තිබු බවය.

මෙරට පළමුපෙළ තරඟ අතර වඩාත් ස්ථාවරම මැදපෙළ පිතිකරුවෙකු ලෙස කලක සිට දක්ෂතා පෙන්වූ රොෂේන් පළමු ටෙස්ට් තරඟය සඳහා අවස්ථාව ලැබෙන විට පළමු පෙළ ලකුණු 6500 කට වඩා රැස් කරගෙන තිබුනේ ශතක 18 ක් ද සමඟිනි.දක්ෂතා දැක්වූ ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාව හිමි නොවීම ගැන කලකිරීමෙන් සිටි බව ඔහු පවසා තිබිණි.

“මම ලොකු කලකිරීමකින් හිටියේ අන්තිමේ මට අවස්තාව ලැබුනා.ඕස්ට්‍රේලියාවට යන්න තමයි මගේ අදහස තිබුනේ,මට එහෙ ක්‍රීඩා සමාජ වලින් අවස්ථා කිහිපයක් ලැබිල තිබුනත් මට ලංකාව නියෝජනය කරනවා කියන සිහිනය තිබුන නිසා මේ තරම් කාලයක් උනන්දුවෙන් ක්‍රීඩා කලා.”

මෙලෙස කාලයක් බලාසිටි රොෂේන් තමාට ලැබුන තරඟයේ පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී යාම පිළිබඳවද රොෂේන් මෙහිදී අදහස් දක්වා තිබිණි.

“මේ අවස්තාව ලැබුන කියල දැනගත්තම මට මගේ A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන කිව්වේ ඉන්දියාව එක්ක සෙල්ලම් කරන එක අභ්යෝගයක් හැබැයි ඉන්දියාවේ හොඳට කලොත් මුළු ක්‍රිකට් ලෝකයම ඒ ගැන කතාවෙනව කියල.අවාසනාවට පලවෙනි ඉනිමේ මට ලකුණු ගන්න බැරි වුනා.මම අවුරුද්දක් බලාහිටපු අවස්තාවක් අහිමි වෙද්දී දුකයි.කොහොම හරි දෙවැනි ඉනිමේ මම ක්‍රීඩා සමාජ තරඟයක් කියල හිතාගෙන ලොකු පීඩනයක් නැතුව ක්‍රීඩා කල නිසා මට පුළුවන් වුනා ලංකාව පරාජයෙන් බේරාගන්න උදව් වෙන ඉනිමක් ක්‍රීඩා කරන්න.තරඟයේ අවසාන තේ පානයට ආපු වෙලාවේ අපේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර කිව්වේ අපිට මෙතන ඉදල ලකුණු 60-70 ගැහුවොත් තරඟය ආරක්ෂා කරගන්න පුළුවන් කියල.”

රොෂේන් අවසන් වරට ක්‍රීඩා කල කොදෙව් A කණ්ඩායම සමඟ තරඟාවලිය පිළිබඳවද රොෂේන් මෙහිදී අදහස් දක්වා තිබිණි.

“ඒ තරඟාවලිය ඉන්දීය තරඟාවලියටත් වඩා අමාරු තරඟාවලියක් ඔවුන්ට හිටිය 145kmph පන්දු යවන්නෝ දෙන්නෙක් වගේම 140 පන්දු යවන ක්‍රීඩකයෝ,ඒ වගේම හොඳ දඟ පන්දු යවන්නොත් හිටිය.ධනංජය ඒ තරඟාවලියේ හොඳටම කළා,ඒ වගේම මටත් හොඳ ඉනිම් තුනක් තුනක් ක්‍රීඩා කරන්න ලැබුන එතනින් තමයි මට මේ අවස්තාව ලැබුනේ.”

තරඟයේ අවසන් මොහොත දක්වාම ක්‍රීඩා කර තරඟය ජය ගැනීම සහ තම මංගල ශතකය ලබාගත යුතුයි කියන තැන දික්වැල්ල සිටි බව රොෂේන් සිල්වා අවසාන වශයෙන් පවසා තිබිණි.

“මම දික්වැල්ල එක්ක කතා කළා,තරඟය ආරක්ෂා කර ගැනීම තමයි මුලිකම කරුණ,පෞද්ගලික ඉලක්ක වලට ගිහින් ඒ වෙලාවේ කඩුල්ලක් වැටුනානම් තරඟය වෙනස් වෙන්නත් තිබුන,මොකද ඉන්දියාව කියන්නේ ගොඩක් බුද්දිමත් කණ්ඩායමක්.විනාඩි 50 කදී ලකුණු 117 ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි,දික්වැල්ල කිව්වේ ඒක පුළුවන් දෙයක් කියල.ඔහු පහර දුන්නෙත් දිනන්න,එයාට ලකුණු මවන පහරවල් තියනවා ,පසුපසට එල්ල කරන පහර ෆ්ලික් පහරවල් මට ඔහු විදියට සාර්ථකව එල්ල කරන්න බෑ,ඔහුගේ රටාවට පහර දුන්නනම් දිනන්න තිබුනා,අන්තිමට අපි තීරණය කළා අවධානමක් නොගෙන තරඟය ආරක්ෂා කර ගන්නවා කියල.”

Rate this item
(1 Vote)