April 20, 2024

‘චන්දියි ඇන්ජියි එකතුවෙලා ගහපු ගේමක්ද? ඉන්දියානු නායක කෝලි තරගය නවත්වයි..’ ටෙස්ට් තරගය මැද සිදුවූ අමුතු සිදුවූ මෙන්න(PHOTO)

December 04, 2017

ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (3 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 405 ක් පසුපසින් සිටියි.

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 57 ක්ද, නායක දිනේෂ් චන්දිමාල් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. දිනය නිමාවන විට ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල සඳහා ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 56 කි.

ඊයේ දිනයේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 42 ක් ලබා සිටි ඩිල්රුවන් පෙරේරා පිටියෙන් ඉවත් කිරීමට රවින්ද්‍ර ජදේජා සමත් වූ අතර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විට ඩිල්රුවන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වි තිබිණ.

පන්දු රැකීමේදී හිස් ආවරණයේ පන්දුවක් වැදීම නිසා නිත්‍ය ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා පිටියට නොපැමිණි අතර ඔහු වෙනුවට ඩිල්රුවන් පෙරේරා, දිමුත් කරුණාරත්න සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ඇරඹීය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවේදීම දිමුත් කරුණාරත්න ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මොහොමඞ් ශාමි සමත් විම කැපි පෙනෙන සිදුවීමක් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වාටද රැස්කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි. කඩුලු රකින ක්‍රීඩක රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් දැවී ගියේය. ධනංජය දැවී ගියේ ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 500 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම ඉන් අනතුරුව මඳ වේලාවකට පසු සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

පළමු දිනය වූ 2 වැනිදා තරගය නතර කරන විට ලකුණු 371 ක් ලබා සිටි ඉන්දියාව ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 165 ක් එක් කරගත් අතර දැඩි ලෙස පහර කෑමකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එහිදී දවාගත හැකි වූයේ කඩුලු 3 ක් පමණි. නායක විරාට් කෝලි (243) සහ රොහිත් ශර්මා (65) එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 135 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 500 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි ද්විත්ව ශතකය ලබාගත් විරාට් කෝලි, එය හතරේ පහර 25 කින් අලංකාර කළේය. පන්දු 238 කදී හතරේ පහර 20 ක් සමගින් ඔහු ද්විත්ව ශතකය සම්පූර්ණ කළ අතර දැවීයන විට ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 84.66 ක් ලෙස සටහන් විය. මෙය කෝලි ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම පිට පිටම ලබාගත් දෙවැනි ද්විත්ව ශතකයද විය. කෙසේ වුවත් ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයාම නිමා කෝලිට ලකුණු 300 කඩයිම කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය.

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් රෝහිත් ශර්මා ලකුණු 65 කට දැවී යෑමත් සමග තරගය දිවා ආහාරය සඳහා නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. තමා දැවීගිය ක්‍රීඩකයකු ලෙස ප්‍රධාන විනිසුරු ලබාදුන් තීරණයට අභියෝග කළ ශර්මා එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කළේය. එහෙත් පන්දුව පිත්තේ අග කොටසේ වදින බව නිරීක්ෂණ කිරීමෙන් අනතුරුව තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණය අනුමත කරමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු බව සනාථ කළේය.

රවිචන්ද්‍රන් අෂ්වින්ට මෙම තරගායේදීද ලකුණු අතරට පැමිණීමට ඉඩක් නොලැබුණ අතර ලකුණු 4 ක් පමණක් ලබා සිටියදී ළහිරු ගමගේගේ පන්දුවක් හමුවේ ඩිල්රුවන් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ඔහු ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ඊයේ දිනයේ තරගය පැවැත්වෙන අතරතුරදී පිටිය හා අවට ප්‍රදේශයේ පැතිරගිය මීදුම සහිත දුමාරයක් නිසා ඒ වනවිට පිටියේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ දැඩි අපහසුතාවයට පත්වූහ. එම අවස්ථාවේදී මුඛ ආවරණ පැළඳ පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

එහිදී ශ්වසන අපහසුතා පිළිබඳව විනිසුරුවන්ට පැමිණිලි කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළ අතර ක්‍රීඩකයන් දෙදෙනෙකු එම අවස්ථාවේදී පිටියෙන් ඉවත්ව යනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණු ආවරණය කරගෙන පිටියට පැමිණ වරින් වර තරගය නවතා විනිසුරුට තරගයේ වායු තත්වය පිළිබදව පැමිණිලි කළ අතර අවසානයේ ඉන්දීය නායක විරාත් කෝලී සිය අසුනින් නැගිට ඉන්දීය ඉණිම අත් හිටුවා සිය කණ්ඩායම පන්දු යැවීමට සුදානම් බව කි‍යා පවසා සිටියහ.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැඩිව විවේචනය කරන ඉන්දීය මාධ්‍ය පවසා තිබුනේ නියත පරාජයක් වළක්වා ගෙන තරගය අත්හිටුවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙස හැසිරුණු බවයි. මෙම හැසිරීම ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ආන්ජලෝ මැතිවුස් විසින් සැලසුම් කිරිමක් ලෙසද ඔවුන් චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත් නව දිල්ලිය යනු දැඩි වායු දූෂණයක් පවතින නගරයක් වන අතර , අයහපත් වායු තත්වය නිසා මින් පෙර මෙම ක්‍රීඩා පිටියේ ඉන්දීය ‍රංජි තරගාවලියේ තරග දෙකක්ද නවතා තිබෙන බව සදහන්.

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5) (ප්‍රථම දිනයේ ලකුණු පුවරුව; පන්දු වාර 90.0ක දී කඩුලු 4ක් දැවී 371; මුරලි විජේ 155, විරාත් කෝලි නොදැවී 156, ලක්ෂාන් සඳකැන් 2/110) විරාත් කෝලි 243, ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 131 (44.3) දිල්රුවන් පෙරේරා 42, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 57, දිනේෂ් චන්දිමාල් නොදැවී 25

  

 

Rate this item
(0 votes)