April 25, 2024

‘දසුන්ගේ තීන්දුව වැරදියි’..පන්දුව පලුදු කළ දසුන්ට අයි.සී.සී.යෙන් දුන් තීන්දුව ගැන ‘ගුරා’ කියන කතාව මෙන්න

November 27, 2017

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ නාග්පූර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී පන්දුවේ තත්වය වෙනස් කිරීමේ වරදට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දසුන් ශානක හට ICC ආචාර ධර්ම සංග්‍රහයේ 2 වන මට්ටම කඩ කිරීම වෙනුවෙන් තරග මුදලින් 75%ක දඩ මුදලක් පැනවීමට ICCය තීරණය කර ඇත.

දෙවැනි දිනය අවසානයේ දී සිදු කළ වරද සහ ඩේවිඩ් බූන් විසින් ඒ සඳහා නිර්දේශ කරන ලද දඬුවම දසුන් ශානක විසින් පිළිගෙන ඇත.

ඒ අනුව දසුන් විසින් ICC ආචාර ධර්ම සංග්‍රහයේ 2.2.9 වගන්තිය උල්ලංඝනය කර ඇති අතර ඔහුට පනවන ලද මෙම දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට අවගුණ ලකුණු 3ක් ද එක් කිරීමට තීරණය වී ඇත. ඒ අනුව ආචාර ධර්ම සංග්‍රහයේ 7.6 වගන්තියට අනුව ඔහුගේ විනය වාර්තාවේ මුළු ලකුණු ප්‍රමාණය ඉදිරි මාස 24ක කාලය තුළ 4 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහළ ගියහොත් ඒවා තරග තහනම් ලකුණු බවට පරිවර්තනය වී ඔහුට තරග තහනමක් පැනවෙනු ඇත.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසා සිටිනේනේ දෙවැනි දිනයේදී ඉන්දීය කණ්ඩායමට වඩා බෙහෙවින් පසු පසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකට පන්දුවේ තත්ත්වය වෙනස් කිරීම යටතේ ලබාදුන් තීන්දු වැරදි බවට තමන්ට හැගෙන බවයි.

“ දසුන්ගේ සිදුවීම වැරදි තීන්දුවක් ලෙස හැඳින්විය හැකියි..ඒක සිදුවුණේ එක් පන්දුවාරයකදීයි. කණ්ඩායමේ කිසිවෙකුත් ඒ ගැන දැනගෙන සිටියේ නෑ. එය සැලසුම් කර කළ දෙයක් නොවෙයි. ඔහු එහි පූර්ණ වගකීම බාරගත්තා වගේම ඔහු ඉන්නේ බලවත් පසුතැවිල්ලෙන්.”

ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමේ 50 වැනි පන්දුවාරයේදී රූපවහිනී දත්තවලින් ශානක පන්දුව වෙනස් කිරීමට කටයුතු කරන ආකාරය රූපවාහිනී තිරය හරහා පෙන්වීය.

“දසුන් ශානක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ 2.2.9 වගන්තියේ සඳහන් ක්‍රීඩකයෙක්, ක්‍රීඩකයන්ට සහාය වන්නෙක් පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ 41.3 වරදට හසුව තිබෙනවා. ඔහුගේ දඩ මුදලට අමතරව දසුන්ගේ විනය ලකුණු වලට සෘණාත්ම ලකුණු 3ක්ද එක්වෙනවා. ” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල නිකුත් කළ නිවේදනයක  දැක්වෙයි.

“එයින් ඔහු ඉච්ඡාභංගත්වයට පත්වෙලා නෑ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔහුට කතා කළා. ඔහු මේ ක්‍රීඩා කළේ සිය තෙවැනි ටෙස්ට් තරගයටයි. අප තරග තීරක (ඩේවිඩ් බූන්) සමග සාකච්ඡා කළා. අපි හැම දෙයක්ම දැක්කා. හොඳම දේ තමයි දැන් තරගය හොඳ ලෙස ඉදිරියට පවත්වාගෙන යෑම”

කෙසේ වෙතත් දසුන්ගේ  තීරණය ගැන අදහස් දක්වමින් බූන් මහතා ප්‍රකාශ කළ සිටියේ;

“තාම මේ යන්නේ දසුන්ගේ ක්‍රිකට් දිවියේ මුල් කාලය. ඒ නිසා මම විශ්වාස කරනවා මේ දඬුවම නිසා ඔහු ඉදිරියේ දී පන්දුවේ තත්වය පවත්වා ගෙන යාම පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙයි කියලා.”

ආචාර ධර්ම සංග්‍රහයේ 2 වන මට්ටමේ වරදක් සිදු කළ විට අවම වශයෙන් තරග මුදලෙන් 50-100% අතර දඩ මුදලක් සහ හෝ තරග තහනම් ලකුණු දෙකක් පිරිනැමිය යුතු අතර ඒ අනුව යමින් දසුන්ගේ දඬුවම තීරණය කර ඇත.

Rate this item
(0 votes)