April 18, 2024

ඉන්දියාව හරිත තණතීරුවක් ඉල්ලයි..ශ්‍රී ලංකාව ප්‍රතිහාර්යකට සැරසෙයි

November 24, 2017

ලෝකයේ අංක එකේ ටෙස්‌ට්‌ පිලව අමාරුවේ දැමීමට ධනාත්මක මානසිකත්වයකින් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගයට අද (24 දා) නාග්පූර්හි පිහිටි විදර්භා ක්‍රිකට්‌ සංගම් ක්‍රීඩාංගණයට පිවිසෙනු ලබන්නේ ප්‍රතිහාර්යයක්‌ කිරීමේ දැඩි අදිටනකින් යුක්‌තවය.

දෙරට අතර පවත්වනු ලබන 43 වැනි ටෙස්ට් තරගය ලෙසින් ඇරඹෙන මෙම තරගය  පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත්තේ මෙම තණතීරුව පෙර තරගය පැවැති ඊඩ්න් ගාඩ්න් තණතීරුවට වඩා පිතිකරුවන්ට යෝග්‍ය බවයි.

"මෙම තණ තීරුවේ පළමු දින කිහිපය පිතිකරුවන්ට යෝග්‍ය වීමට ඉඩ ඇති නමුත් අවසන් දින දෙකේදී පමණ පන්දුව දඟ පන්දු යවන්නන්ටත් උචිත වේවි. එය අපිට අභියෝගයක් වුණත් කණ්ඩායමක් ලෙස අපිට ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා. කොහොම වුණත් අපි ඉන්දියාවට ආවේ තරගයක් ජයග්‍රහණය කරන්නයි. ඒ සඳහා අවශ්‍ය සියලුම අංශ අපි දැන් ශක්තිමත් කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ පන්දු රැකීමේ අංශය විශාල වෙනසක් ලබලා තියෙනවා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා පසුගිය තරගයේදී දුර්වල වූ ළහිරු ගමගේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"ඔහු ඉතා හොඳ පන්දු යවන්නෙක්. සමහර අවස්ථාවලදී කුමන හෝ ක්‍රීඩකයකුට එම දිනයේ දස්කම් දක්වන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එම තරගයේදී දස්කම් දක්වන්න බැරිවෙන්න පුළුවන්. ඔහුට මෙම තරගාවලිය හොඳ අත්දැකීමක්. කොහොම වුණත් හෙට (අද) දිනයේදී තණතීරුව පරීක්‍ෂා කර බලලා තමයි කණ්ඩායම පිළිබඳව තීරණයක් ගන්නේ" යනුවෙන්ද චන්දිමාල් පවසා තිබිණි.

මේ වන විට ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන ඉන්දීය පිල ලබන වසර ආරම්භයේදීම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේ නිමාවත් ඉන්දියානුවන්ගේ දකුණු අප්‍රිකානු සංචාරයේ ආරම්භයත් අතර ඇත්තේ සතියකටත් අඩු කාලයකි. දකුණු අප්‍රිකාවේදී තවමත් ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැති ඉන්දීයානු පිල මෙවර තරගාවලියේදී ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.

“මෙම තරගාවලිය අවසන් වුණාට පස්සේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර අපට ඇත්තේ දවස් දෙකක් විතරයි.....ඒ නිසා මේ තරගාවලියේදීම වේගවත් තණතීරු සකස් කරනවා හැරෙන්නට අපට වෙනත් විකල්පයක් නෑ” යයි තමන් හරිත පැහැ තණතීරුවක් ඉල්ලා සිටියේද යන්න කළ විමසීමේදී එය තහවුරු කරමින් විරාට් කෝලි පැවසීය.

“මා හිතන්නේ අපට අපිවම පරීක්‍ෂා කරගන්න මේක හොඳ අවස්ථාවක්. අපි මේ වගේ අමාරු තත්ත්වයන්ට මුහුණ දෙන්න ඕනා” යයිද විරාට් කෝලි පැවසීය. ඔහුගේ අරමුණ වන්නේ දකුණු අප්‍රිකාවේ ඉතාමත් වේගවත් තණතීරු පවතින කේප් ටවුන් සහ ජොහැන්නස්බර්ග් වැනි ක්‍රීඩාංගණ වල පවතින තත්ත්වයන්ට හුරුවීමයි.

“මා කියන්නේ නෑ අද මේ වගේ දෙයක් කළා කියලා එදාට එතැන ගිහින් හැමෝම සාර්ථක වෙයි කියලා. ඒත් ඉනිමකට දෙකකට පස්සේ අපට කිසියම් හුරුපුරුදු බවක් දැනෙනවා නම් ඒක හොඳයි” යයිද කෝලි පැවසීය.

කොල්කටාවේදී පැවැති පළමු ටෙස්ට් තරගය සඳහාත් වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සකස් කළ ඉන්දීය පිලට එම තරගය ජයගත නොහැකි වූ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ කර දැමීමට ඉන්දීය වේග පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දීය පිලට තරගය ජයගත නොහැකි වූයේ වර්ෂාව හේතුවෙන් ඕවර 170 කට වැඩි ප්‍රමාණයක් අපතේ යාමෙනි. අපතේ ගිය තරග කාලය සම්පූර්ණ දින දෙකකට ආසන්නය.

කොල්කටාවේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා කඩුලු 17 ම වේග පන්දු යවන්නන් විසින් බෙදාහදාගනු ලැබුවද පෞද්ගලික හේතු මත බුවනේෂ්වර් කුමාර් දෙවැනි සහ තුන්වැනි ටෙස්ට් තරග වලින් ඉවත්ව සිටී.

කොල්කටා තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ලකුණු 75 කට කඩුලු 7 ක් අහිමි කරගත් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාකරගත හැකිවූයේ මන්දාලෝකය හේතුවෙනි. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූ රංගන හේරත් (67) තරගයේ ඉනිම දෙකේදීම යැවූයේ ඕවර 8 ක් පමණි. එහෙත් නාග්පූර්හි විදර්බා ක්‍රිකට් සංගම් පිටියේදී රංගන හේරත්ගේ සේවය වඩාත් අවශ්‍යවනු ඇතැයි චන්දිමාල් අපේක්‍ෂා කරයි.

මේ අතර පළමු තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අතුරින් විශාල දියුණුවක් ලබා ඇති සුරංග ලක්මාල්ගේ පන්දුයැවීම බලපෑ අතර, ඔහු අදින් ඇරැඹෙන තරගයේදීත් ඉන්දීය කණ්ඩායමට තර්ජනයක් එල්ල කරනු ඇතැයි බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍රව ඇත.

තරගය අද පෙරවරු 9.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක සහ රොෂේන් සිල්වා

ඉන්දීය සංචිතය

විරාට් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, චෙටේස්වාර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රෝහිත් ෂර්මා, රිදිමන් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, කුල්දිප් යාදව්, මොහොමඞ් ෂාමි, උමේෂ් යාදව්, විජේ ශංකර් සහ ඉෂාන්ත් ෂර්මා

Rate this item
(0 votes)