March 28, 2024

වැටුණු ක‍්‍රිකට් ගොඩගන්න හතුරුසිංහ දිවයිනට..

November 22, 2017

බංගලාදේශ ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ ශ‍්‍රී ලංකාවට පැමිණි බව වාර්තාවෙයි.

ලංකාවට පැමිණීමෙන් පසු ඊයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත පැමිණ හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් බලධාරීන් සමග රාත‍්‍රී 08 සිට මධ්‍යම රාත‍්‍රිය වන තෙක් සාකච්ජාවක් සිදු කර ඇති බවටට ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා ඉකුත් දා (20) මාධ්‍ය හමුවේ පැවසූවේ , ඔවුන් චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රඳවා ගැනීමේ බලාපොරොත්තු අත්හැර ඇති බවටත්, ඔහුගේ ස්ථානයට වෙනත් කෙනෙකු පත්කිරීම සඳහා විකල්පයන් පිළිබඳ අවධානය යොමු කර ඇති බවටත් ය.

ඒ අනුව මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයෙන් අනතුරුව හතුරුසිංහ මහතා නියමිත කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා, නිල කටයුතු අවසන් කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වගකීම් බාර ගැනීමට නියමිත ය.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී හතුරුසිංහ මහතා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බාරදෙනු ලැබූ අතර කෙසේ නමුත් ඔවුන් හතුරුසිංහ මහතාගේ මෙම තීරණය වෙනස් කිරීමට උත්සාහ දැරීය.

කෙසේ නමුත් ඉකුත් දා20 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාස්මුල් මහතා ඉඟි පලකළේ හතුරුසිංහ මහතා වෙනුවට වෙනත් සුදුසු පුද්ගලයෙක් ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා ඔවුන් මේ වන විට සොයමින් සිටින බවත්, එවන් අයෙක් සොයාගත නොහැකි වුවහොත් තාවකාලිකව එම ධූරය කාලේඩ් මහමූඩ් වෙත පිරිනමනු ඇති බවයි.

“යම්කිසි කෙනෙක් ආසාවෙන් වැඩ කරන්න කැමති නැත්නම් මම පෞද්ගලිකව හිතනවා ඔහුව තියාගෙන වැඩක් නැහැ කියලා. අපි ඒ ක්‍රමය අනුගමනය කරලත් නැහැ,” මිර්පූර් හිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාස්මුල් මහතා පැවසීය. “අපි හතුරුසිංහ වෙනුවෙන් නෙමෙයි බලාගෙන ඉන්නේ. අපි බලාගෙන ඉන්නේ සති 2-3ක් ඇතුළත ඔහු ලබා දෙන්න නියමිතව තිබූ වාර්තාව එනකං,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපි දැනගත යුතුයි ඇයි ඔහු ඉවත් වුනේ කියලා. අපි නිසා ද?, නැත්නම් ඔහුගේ පෞද්ගලික කාරණයක් නිසා ද? අපි ඒ තීරණයට යම් ආකාරයකට බලපෑවා ද කියලා. හේතුව දැන ගත්තා කියලා ලොකු වෙනසක් වෙනවා නෙමෙයි. නමුත් අපි ඒ හේතුව දැනගත යුතුයි,” ඔහු පැවසීය.

“ශ්‍රී ලංකා සංචාරයට පෙර අපිට විදේශීය පුහුණුකරුවෙක් ලැබුණේ නැත්නම් අපි සතුව ඉන්නවා දේශීය පුහුණුකරුවෙක්; සුජෝන් කාලේඩ් මහමූඩ්,” ඔහු පවසා සිටියේ ය.

හතුරුසිංහ මහතා සමඟ ද ඉතාමත් සමීපව කටයුතු කළ මහමූඩ් මහතා මේ වන විටත් ජාතික කණ්ඩායම බාර ගැනීමට ඇති ඔහුගේ බලාපොරොත්තුව ප්‍රකාශ කර ඇත. ඔහු මේ වන විට පැවැත්වෙමින් තිබෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2ක්, පන්දුවාර 20 තරග 2ක් සහ සිම්බාබ්වේ කණ්ඩායම ද ඇතුළත් තුන්කොන් තරගාවලියක් සඳහා සහභාගී වීමට බංග්ලාදේශය බලා ඉදිරියේ දී පිටවත්ව යාමට නියමිත ය.

කෙසේ නමුත් නාස්මුල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ එම ඉල්ලා අස්වීම හතුරුසිංහ මහතා පෙර සැලසුම් කර තිබූ එකක් බවට ඔහු විශ්වාස නොකරන බවයි.

Rate this item
(0 votes)